SLFP යෙන් ආණ්ඩුවට එන පිරිසක් ගැන මනුෂගෙන් ඉඟියක්

දෙසැ 23, 2018

    ඔක්තෝම්බර් 26 වැනිදා රටේ ඇතිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ආරම්භ කළ සටන පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත් කරගැනීමත් සමග ජයග්‍රහණය කළ බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය. මේ වන විට තමන් සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් බවත් ගාල්ල දිස්ත්‍රික් මනුෂ නානායක්කාර මහතා කියා සිටි. ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගාල්ලේදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.

    ඔක්තෝම්බර් 26 වැනිදා මේ රටේ කාලකන්නි තත්වයක් ඇති කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි අගමැතිවරයා පත් කළා. ඉන් පසුව පාර්ලිමේන්තුව කල් තැබුවා. ඊටත් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මේ අවස්ථාවේදී තමයි මම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවෙන මරු පහරට එරෙහිව, පළමු නැගීසිටීම, පළමු හැරවුම් ලක්ෂය විදියට එදා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ඉදිරිපත් වුනා. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනට මන්ත්‍රීවරු මුදල්, වරප්‍රසාද, වරදාන ලබාදෙමින් අරගන්න අවස්ථාවේදී මම ඒ සියල්ලට එරෙහිව නැගී සිටියා. මට ලැබුණ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙලා එදා මම තීරණයක් ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සදහාම පමණයි. එදයින් පස්සේ අධිකරණයෙන්, ජනතාවගෙන් හොද ප්‍රතිචාර ලැබුණා. පාර්ලිමේන්තුවේ බහුතරය අපි දිනා ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය සදහා වන සටන අපි ජයග්‍රහණය කළා. අපට නැවත වතාවක් ඔක්තෝම්බර් 26 වැනිදාට පෙර පැවති තත්වයට ගෙන ඒමට හැකියාව ලැබුණා. රටට නැවත ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාවය විතරයි අපිට තිබුණේ. ඇමැතිකම් ගැනීටම නෙමෙයි අපිට අවශ්‍ය වුනේ. එහෙම ඇමැතිකම් අරගන්න උවමනාවක් තිබුණා නම් මම එදා ඇමැතිකමක් තියාගෙන ඉන්නවා. ඇමැතිකම් අතහැරලා විපක්ෂයට එන්නේ නෑ. අපේ අනාගත පරපුරට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකදීමට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට ඒකට ඕන කරන කොන්දක් තියෙනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගිහින් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිපු අය ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායමම පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන තමන්ගේ ෆේස් බුක් ගිණුම්වල ඒවා දැම්මා. පත්තරවල ගියා. ටී.වී. එකේ ගියා. ඒ අයට විරුද්ධව ගනිපු විනය ක්‍රියාමාර්ගය මොකක්ද? මේ අය තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කියනවා. පොහොට්ටුවට ගිය අයට විරුද්ධව විනය පරීක්ෂණ ක්‍රියාත්මක කරලා නැතිනම් ඇමැතිකම් අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරපු අයට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්න බෑ. අපි මේ ආණ්ඩුවේ කොටස්කරුවන්. මේ අය තමන්ට කන්න ඕන වුනාම ගොරකත් දඩමස් කරගන්නවා. මේවා දේශපාලන පක්ෂයකට හරියන්නේ නෑ. මේවා ගමේ කඩපිලේ කියන්න හොදයි. ඒත් මේවා කියමින් රටක් කරන්න බෑ.

    දැන් මේ අය මාධ්‍ය සාකච්ඡා පවත්වත්දී පිටිපස්සේ තියෙන පොහොට්ටු ලකුණ කළු පාට රෙද්දක් දාලා වහලා තියෙනවා. මේ විදියට ජනතාව රවට්ටන්නේ කොහොමද? මොකක්ද මේ ලැජ්ජා නැති වැඩේ? මේ අය හැමදාම ජනතාව රවට්ටනවා වගේ තමන්ගේ මන්ත්‍රීකම රැක ගන්න පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ කියලා කියනවා. මේ විදියට බොරු කියන අය දිහා බැලුවම වහල්ලුන්ට අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නේ. ආණ්ඩුවට එන්න තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටිනවා යැයි ඔහු කියා සිටියේය.

    Latest News