සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන කළ දරුවන් ගැන පරීක්ෂණ (වීඩියෝ)

මැයි 01, 2020
  • බාල වයස්කාර දරුවන් කිහිප දෙනෙකු ප්‍රචණ්ඩත්වය වැපිරෙන ආකාරයේ අසැබ් වදන් යොදා ගනිමින් සමාජ මාධ්‍යයට එක්කර ඇති දර්ශන සමූහයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය පරීක්‍ෂණ අරඹා තිබේ.

    මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සිදු කළ නිරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ යම් වැඩිහිටි පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මෙයෙවීම් හා උසිගැන්වීම් මේ තත්වය වර්ධනය වීමට හේතුවී ඇති බවයි.

    විවිධ අන්වර්ථ නාම යොදා ගනිමින් පෙනී සිටින කුඩා දරුවන් සිව් දෙනෙකු පමණ සිය ප්‍රකාශ හා ක්‍රියාකාරකම් ඇතුලත් දර්ශනපට අන්තර්ජාලයට මුදා හැර තිබේ. ඒවා වැඩි වශයෙන් ෆේස්බුක් සහ යු ටියුබ් මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු දැකගත හැක. එකිනෙකාට තර්ජනය කරගනිමින් තියුණු ආයුධ අතැතිව වැපිරෙන මේ ප්‍රචණ්ඩත්වය සමාජ මාධ්‍ය රැල්ලක් ලෙස සමාජගත වෙමින් තිබේ. ඇතැම් ෆේස්බුක් පිටු සහ යූ ටියුබ් ක්‍රියාකාරීන් එම දර්ශනපට ප්‍රතිනිර්මාණය කරමින් නව රැල්ලක් ඇති කිරීමට උත්සහ දරා තිබීමත් කණගාටුවට කරුණක්.

    මාධ්‍යවේදීන් ඇතුලු ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිවරයා වෙත මේ සම්බන්ධව දැනුවත් කරමින් ලිපියක් යොමු කර තිබේ. එහි දැක්වෙන්නේ මෙය තවදුරටත් සිදුවීමට ඉඩ ලබාදී සිටියහොත් ළමුන් කිහිප දෙනෙකු අනාගතයේ අපරාධකරුවන් ගොන්නට එකතු වනු ඇති බවයි.

    තවත් මේ පිළිබඳ ඉදිරිපත් වූ පැමිණිලි සහ නිරීක්‍ෂණවලින් අනතුරුව විමර්ශන ඇරඹූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකයේ කණ්ඩායමක් අද පස්වරුවේ පන්නල ප්‍රදේශයේ පිහිටි එක් දරුවෙකුගේ නිවස වෙත පැමිණියේය. එහිදී හෙලිවී ඇත්තේ දෙමාපිය විරෝධය නොතකමින් එම දරුවා ජංගම දුරකතනයක් මිලදී ගෙන ඇති බවයි. සිද්ධිය පිළිබඳ ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඉදිරි විමර්ශන සඳහා දෙමාපියන්ගේ භාරකාරත්වය යටතේ දරුවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට පියවර ගත්තේය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය පවසන්නේ කුඩා දරුවන්ට අන්තර්ජාලය භාවිත කිරීමට ඉඩ දීමේදී දෙමාපියන් අවධානය යොමු කළ යුතු බවයි. මේ දිනවල අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ක්‍රියාවලියට දරුවන් යොමු කිරීම හේතුවෙන් ඇතැම් දරුවන් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරෙන බව පෙනී ගොස් ඇති බව එම ආයතනය පවසයි. තවද අන්තර් ජාලයට එකතු වී ඇති වීඩියෝ පට ළමුන්, අනුකරණය කිරීමේ ඉහළ හැකියාවක් පවතින බව ද ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පවසයි.

    Latest News