“කොවිඩ් 19“ අද තහවුරු වූ සංඛ්‍යාව 09ක්

මැයි 01, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුණු බවට අද තහවුරු වූ සංඛ්‍යාව 09ක්.

    ඉන් 05 දෙනෙකු රෝගය වැළඳුනු නාවික හමුදා සෙබළුන් ළඟින් ආශ්‍රය කළ අය. තවත් රෝගියෙකු කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන අතර, අනෙක් රෝගීන් තිදෙනා නාවික හමුදා සාමාජිකයින්.

    කොවිඩ් 19 රෝගය තවමත් බහුලව පැතිරී නැතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එය ප්‍රතිශතයක් ලෙස ගත්විට 3%ක්. රෝගය වැළඳී සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව අද වනවිට 157 දක්වා ඉහළ ගොස් තිබේ. තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 510ක්.

    නාරහේන්පිට දාබරේ මාවත ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා සමඟ සම්බන්ධතා පැවැත්වූ ස්පර්ශකයෙක් ද ඊයේ හඳුනාගත් රෝගීන් වේ. තවත් නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු විය.

    රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන් PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීම ද සිදු කෙරේ.

    කොරෝනා වෛරස් තත්වය පාලනය කිරීම සඳහා පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූවාය. වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ජා කෙරිණ.

    දිඹුලාගල, දම්මින්න යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයන් පිරිසක් සිය නිරෝධායන කාලසීමාව අවසන් කර නිවෙස් වෙත පිටව ගියේය. එම කණ්ඩායමට 35 දෙනෙකු අයත්. කොවිඩ් 19 රෝගියෙකුට සෘජුව නිරාවරණය වූ රාගම, රෝහලේ කාර්ය මණ්ඩලයේ 35 දෙනෙකු එම මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර සිටියේය.

    කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලාංකික සිසුන් 1,065 දෙනෙකු දින 10ක කාලයක් තුළ මෙරටට පැමිණි බව, විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. මෙහෙයුම ආරම්භ කෙරුණේ අප්‍රේල් 21. ඉන්දියාවේ පංජාබ්, මුම්බායි, කොයිම්බතූර්, බැංගලෝර්, නවදිල්ලිය සහ කොල්කටා යන නගරවල සිට සිසුන් පැමිණියේය. ඊට අමතරව පකිස්තානයේ කරච්චි සහ ලාහෝර් යන නගරවලින් ද නේපාලයේ කත්මණ්ඩු නුවරින් ද බංග්ලාදේශයේ ඩකා අගනුවරින් ද සිසුන් පැමිණියේය. ඒ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් විශේෂ ගමන්වාර නවයක් හඳුන්වා දෙනු ලැබීය. සිසුන්ට අමතරව අධ්‍යයන හා පුහුණු වැඩසටහන් සම්පූර්ණ කළ හා යළි ශ්‍රී ලංකාවේ රාජකාරි බාර ගැනීමට නියමිතව සිටි රාජ්‍ය හා හමුදා නිලධාරීන් ද මෙරටට පැමිණි කණ්ඩායමට ඇතුලත්. ඔවුන් සියලු දෙනා අනිවාර්ය නිරෝධායනයට ලක් කෙරිණ.

    නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන රටක් ලෙස ශ්‍රී ලංකාව කොවිඩ් 19 රෝගය මැඩලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ඇගයීමට ලක්ව තිබේ. ලොව සංවර්ධිත රටවල් පවා වෛරසය මර්දනයේ දී ප්‍රමාද වී තීන්දු ක්‍රියාත්මක කළ  ද ශ්‍රී ලංකාව පූර්ව සූදානමකින් යුතුව ක්‍රියා කිරීම ඊට හේතුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිතවරියගේ කාර්යාලයේ පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

    එය, වීඩියෝ තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් ඊයේ රාත්‍රී යේ පැවැත්විණ. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් ඊට එක්වූහ. ශ්‍රී ලංකාව රෝග ව්‍යාප්තියේ මර්දනයක් ළඟා කර ගෙන ඇතැයි, විදෙස් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්නේය. රටවල් 15ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සාකච්ජාවට එක්වූහ.

    නාරහේන්පිට, ජාතික පොළ පරිශ්‍රයේදී 40 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබාගැනීම අද සිදු කෙරිණ. පසුගියදා නාරහේන්පිට දාබරේ මාවත ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගියෙකු හඳුනා ගැනීමත් සමඟ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයින් PCR පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ. ඔවුන්ගෙන් තවත් එක් අයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව ඊයේ තහවුරු විය. ඒ අනුව අදත් ඔවුන් දෙදෙනා ආශ්‍රය කළ පුද්ගලයින් PCR පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකු අද වනවිට සම්පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ. ඔවුන්ගෙන් බොහෝ පිරිසකගේ පසු නිරෝධායන කාලය ද මේ වනවිට අවසන්.

    Latest News