මැනිං වැසුවත් එළවළු තොග හුවමාරුවට මධ්‍යස්ථාන 6ක් විවෘතයි

අප්‍රේ 27, 2020

    කොළඹ දිස්ත්‍රික්කයේ මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ සහ වැලිසර මධ්‍යස්ථාන දිවා කාලයේ ද විවෘත කර තැබීමට තීන්දු කෙරේ.

    කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීම හේතුකොට ගෙන ඇති වී තිබෙන එළවළු තොග හුවමාරුව පිළිබඳ ගැටලුවට විසඳුමක් ලෙස මෙම තීන්දුව ගනු ලැබූ බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    මෙතෙක් විශේෂ ආර්ථික මධ්‍යස්ථාන භාණ්ඩ හුවමාරුව සඳහා විවෘත ව තිබුණේ ප.ව 2.00 සිට රාත්‍රී 12.00 දක්වා පමණි. නමුත් රටේ ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය මෙන් ම කොළඹ මැනිං ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම නිසා එකවර විශාල ප්‍රමාණයක ජනකායක් එකතු වීම වැළැක්වීම සඳහාත් පොලිසියත් පාලක සභාවත් මෙම තීන්දුවක් ගෙන ඇතැයි ගුණවර්ධන මහතා පැවසීය.

    කුඩා පරිමාණ තොග විශේෂයෙන් ම අතශ්‍යවශ්‍ය සේවා වශයෙන් ගම්වල එළවළු බෙදාහරින වෙළෙන්දන් සඳහා එම ස්ථාන පෙ.ව. 7.00 සිට දහවල් 12.00 දක්වා මේ අනුව විවෘතව පවතී. එසේ ම විශාල තොග හුවමාරුව සඳහා සුපුරුදු ලෙස ප.ව. 2.00 සිට රාත්‍රී 12.00 දක්වා විවෘත කර තැබීමටත් නියමිතය.

    එවිට බලපත්‍රලාභී අයට අධිවේගී මාර්ගය හෝ වෙනත් මාර්ගවලින් පැමිණ, වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණ තොග මිල දී ගැනීමට හැකියාව ලැබෙන බැවින් කොළඹ මැනිං වෙළඳපොළ වැසීම නිසා ඇති වී තිබෙන ගැටලුව විසදෙන බව ද ඔහු පැවසීය.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 09:41

    Latest News