'කොවිඩ් 19' අරමුදලේ ශේෂය රු.මිලියන 785ක්

අප්‍රේ 21, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 785 ඉක්මවයි.

    ගැමුණු හේවා රොජිමේන්තු සේවා මුක්ත භට සංගමය රුපියල් 50,000ක්, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය රුපියල් මිලියන 1.5ක්, ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් ඖෂධ ආයතනය (Glaxosmithkline) හා විජය නිෂ්පාදන පෞද්ගලික සමාගම රුපියල් මිලියන 05 බැගින්, නිෂිකෝ අන්තර්ජාතික පෞද්ගලික සමාගම, පීපල්ස් රක්ෂණ ආයතනය සහ රුසියානු අධ්‍යාපන මධ්‍යස්ථානය රුපියල් මිලියනය බැගින් ද, අද (21) අරමුදලට පරිත්‍යාග කළහ.

    එම පරිත්‍යාග ජනාධිපති කාර්යාලයේ දී COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ සභාපති, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා වෙත භාර දෙනු ලැබීය.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

    දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  හැක.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 19:00

    Latest News