අගමැතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය (වීඩියෝ)

අප්‍රේ 13, 2020
  • මෙවර අලුත් අවුරුද්ද පවුලේ සාමාජිකයන් සමඟ පමණක් චාම් හා සරලව ද උපේක්ෂා සහගතව ද සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    “මෙවර අලුත් අවුරුද්දට සුබ පතන්නට සිදුව තිබෙන්නේ ඉතා තීරණාත්මක අනතුරක් අභිමුවෙහි හිඳිමිනි. එබැවින් මේ අලුත් අවුරුද්ද ගත කරන්නට ඔබට සිදුව ඇත්තේ ද සෞඛ්‍යමය අවවාද හා නිර්දේශවලට යටත්වය. ජාතියේ පැවැත්ම වෙනුවෙන් මහජන සුවසෙතට අදාළව පැනවූ නීතිරීති සහ වාරණ අලුත් අවුරුදු දින කිහිපයේ දී ද ක්‍රියාත්මක කෙරෙන බව ඔබට සිහිපත් කළ යුතුය.

    “මෙම සෞඛ්‍යමය වාරණ හා නිර්දේශ මධ්‍යයේ වුව ද අලුත් අවුරුද්දේ අරුත නොනසා පවත්වාගත හැකි බව මම විශ්වාස කරමි.

    “සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ජාතීන් අතර සමගිය හා සහජීවනය පිළිබිඹු කරයි. එකම මොහොතක වැඩ කරන අපට ජාතියේ ඒකාග්‍රතාවය පෙන්විය හැකිය. නිවස තුළ පමණක් හිඳිමින් මෙම චාරිත්‍ර ඉටු කර අපට අපගේ සාම්ප්‍රදායන් ඉදිරියට ගෙන යා හැකිය. එය ඉතා චාම්, සරල සහ උපේක්ෂා සහගතව අවුරුදු සතුට කැඳවා ගැනීමකි. මේ සරල බව, උපේක්ෂා සහගත බව ජාතියේ පැවැත්මට හේතු වූ බව ඉතිහාසය විමසීමෙන් පෙනේ.

    වසර සිය දහස් ගණනක් නොබිඳී පවත්වාගෙන ආ සිරිත් විරිත් තුළින් මතු වූ ජාතික හැඟීම්වල වටිනාකම අද අපට වෙනදාට වඩා හොඳින් දැනේ. අද ලොවම සලිත කළ හා අසරණ කළ වසංගතයකට අපි සාර්ථකව මුහුණ දෙන්නේ සාම්ප්‍රදායිකව ජාතිය තුළ තිබූ එම බැඳීමත් ඒකාග්‍රතාවයත් ජනසංස්කෘතියේ ශක්තිමත් භාවයත් නිසාය.

    එබැවින් චාම් හා සරලව ද උපේක්ෂා සහගතව ද මෙවර අලුත් අවුරුද්ද ඔබගේ පවුලේ සාමාජිකයින් සමඟ පමණක් සමරන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    Last modified on සදුදා, 13 අප්‍රේල් 2020 18:20

    Latest News