ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය (වීඩියෝ)

අප්‍රේ 13, 2020
  • දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි මෙන්ම නිරෝගීමත් කාලපරිච්ඡේදයක් වේවා යැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ප්‍රාර්ථනා කරයි.

    “රටත් ජනතාවත් මුහුණ පා ඇති වසංගත උවදුර ජයගැනීමට තිර අධිෂ්ඨානයෙන් අත්වැල් බැඳ ගැනීම අපේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක් කර ගනිමු.” යැයි ද ජනාධිපතිවරයා සිය පණිවුඩය මඟින් ඉල්ලා සිටියි. ජනාධිපතිවරයා නිකුත් කර ඇති එම පණිවුඩයේ මෙසේ ද සඳහන් කර ඇත.

    “වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමඟ එළඹෙන අලුත් අවුරුද්ද සංතෘෂ්ටියේත් සාමූහිකත්වයේත් අන්‍යෝන්‍ය සබඳතා වර්ධනයේත් සමය ලෙස හැඳින්වේ. එසේ වුව ද අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝගී කාරකයක් අපේ මාතෘ භූමියට ද පිවිසීම නිසා මුතුන් මිත්තන්ගේ සමයෙහි පවා නොඇසූ තරමේ ආපදාවකට අපි දැන් මුහුණ පා සිටිමු. එහෙයින් සාමූහික උත්සව මෙවර පැවැත්විය නොහැකි වන්නේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව සෞඛ්‍ය විශේෂඥයන් දැඩිව අවධාරණය කර ඇති බැවිනි. රටට සහ ජාතියට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ස්වෙච්ඡාවෙන් ඒකරාශී වන අප ජනතාව මේ උත්සව සමයේ දී පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් රෝග කාරකය පැතිර යාම වැළැක්වීමට කැපවන ලෙස ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

    “සොබාදහමේ සුන්දරත්වයෙන් පැහැපත් වන අලුත් අවුරුදු සමය, මිනිසා පරිසරය සහ ස්වභාවධර්මය වන්දනා කිරීමේ උළෙලකි. දැන් අප එළැඹ සිටින්නේ සෙබාදහම සමඟ බද්ධවීමේ අවශ්‍යතාව වඩාත් දැනෙන මොහොතකය.

    “චිරාත් කාලයක් තිස්සේ අප ඉමහත් ගෞරවයෙන් සහ උනන්දුවෙන් ඉටු කළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, විශේෂයෙන් සුබ මොහොතට නිවැසියන් සියලු දෙනා එක්ව ලිප ගිනි මෙලවීම, කිරි ඉතිරවීම, නැකතට ආහාර අනුභවය සහ සම්ප්‍රදායික ගනුදෙනු ආදිය පවුලේ අය පමණක් එක්ව සිදු කිරීමට මෙවර කටයුතු කිරීම සුදුසුය.

    “අලුත් අවුරුදු සතුටෙහි සැබෑ හිමිකරුවන් අපේ කුඩා දූ පුතුන්ය. මෙවර අලුත් අවුරුද්ද සැණකෙළිවලට සීමා පැනවී ඇති නමුදු දරුවන්ට අවුරුදු සතුට භුක්ති විඳීමට අප අවස්ථාව සැලසිය යුතුය. එබැවින් ඔබ නිවසේ රැඳී සිටිමින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර දරුවන්ට අවුරුදු අසිරිය විඳ ගැනීමට ඉඩ දෙන මෙන් මම සෙනෙහසින් ඔබට සිහිපත් කරමි. රටත් ජනතාවත් මුහුණ පා ඇති වසංගත උවදුර ජයගැනීමට තිර අධිෂ්ඨානයෙන් අත්වැල් බැඳ ගැනීම අපේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක් කර ගනිමු. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.!”

    Last modified on සදුදා, 13 අප්‍රේල් 2020 18:20

    Latest News