COVID-19 ආසාදනය වූ මාස 04ක දරුවා සම්පූර්ණ සුවය ලබයි (වීඩියෝ)

අප්‍රේ 12, 2020
  • මෙරටින් වාර්තා වූ ලාබාලතම COVID-19 රෝගියා මේ වනවිට සම්පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තාවේ.

    එම බිළිඳා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි මාස 04ක දරුවෙකි. බිළිඳාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූයේ පසුගිය 30 වැනිදායි. ප්‍රතිකාර කටයුතු සඳහා බිළිඳාව යොමු කර තිබුණේ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙතයි.

    නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් ස්ථාන 16කදී නිරෝධායනයට ලක්කර තිබේ. එම නිරෝධායන කටයුතු ආරම්භ කර ඇත්තේ, පසුගිය 28 වැනිදායි. එම පුද්ගලයන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට සායනිකව සහ PCR පරීක්‍ෂණ මගින් තහවුරු කරගෙන ඇති බව, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පවසයි. ඔවුන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරියගේ උපදෙස් මත නිරෝධායනයෙන් නිදහස් කර ඇති බව වාර්තාවේ.

    මෙරටින් වාර්තා වන COVID-19 රෝගීන් සංඛ්‍යාව මේ වන විට 203 කි. සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 55ක්. අද රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගැණින. ඔවුන් බේරුවල ප්‍රදේශයේ සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය යෙත යොමු කළ පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රෝගියෙකු අදත් සුවය ලබා සිය නිවසට ගොස් තිබේ. මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 07ක්. රෝගය වැළඳී ඇති බවට තහවුරු කරගත් පුද්ගලයින් 141 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි. ඒ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ. රෝගීන් කිහිප දෙනෙකු ඉරණවිල රෝහලේ ද ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වැඩිම COVID-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ, පුත්තලම, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලිනි. කොළඹ ප්‍රදේශයෙන් පුද්ගලයින් 45ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 44ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 28ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 23 දෙනෙකු ඊට ඇතුලත්. රෝගීන් හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 14කි.

    පසුගියදා රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට COVID-19 රෝගය වැළඳුණි. පසුව තහවුරු වූයේ ඔහුගේ මවට සහ පුතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ. ඒ, පසුගිය 08 වැනිදා. ඔවුන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අතරතුර කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි, තහවුරු කරගැනීමට පරීක්‍ෂණ සිදුකර තිබේ. පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ, ඔවුන්ගෙන් කිසිදු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි. ඒ අනුව ඔවුන් සියලු දෙනාම ඊයේ නැවතත් රත්නපුර ප්‍රදේශයට පැමිණියේය.

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන්ගේ හා නිරෝධායන මධ්‍යස්ථාවල නිරෝධායනය සඳහා යොමුකර ඇති පුද්ගලයින්ගේ සාම්පලවල පරීක්‍ෂණ වේගවත් කිරීම සඳහා ජංගම සාම්පල එකතු කිරීමේ රථයක් නිර්මාණය කර තිබේ. ප්‍රථම වතාවට මෙම රථය ආධාර කරගෙන සාම්පල ලබාගැනිම අද සිදු කෙරිණ. ඒ, රෝගීන්ට නිරාවරණය වූ ආරක්‍ෂක අංශවල නිලධාරීන් නිරෝධායනය කිරීම සඳහා රත්මලානේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී.

    Last modified on ඉරිදා, 12 අප්‍රේල් 2020 20:05

    Latest News