සිංහල, දෙමළ අලුත් අවුරුද්ද නිවසේ සිටම සමරන්න (වීඩියෝ)

අප්‍රේ 12, 2020
  • එළඹෙන සිංහල, දෙමළ අලත් අවුරුද්ද නිවසෙහිම සමරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    අවුරුදු සමය තුළ රංචු ගැසීම හෝ සමූහ වශයෙන් කටයුතු කිරීමෙන් වැළකිය යුතුය. ඇඳිරිනීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතා අවධාරණය කරයි. ඇඳිරී නීතිය කඩ කරමින් මාර්ගයේ රැඳී සිටින පුද්ගලයින්ට පොලිසිය අද අවවාද කරනු ලැබීය. ගතවූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩ කළ 1525 දෙනෙකු සහ වාහන 350 කට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන තිබේ.

    ඇඳිරිනීතිය පැවති මුළු කාලය තුළ 23,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 6500ක් පමණ පොලිස් බාරයට ගෙන තිබේ. ඇඳිරිනීතිය හේතුවෙන් කොළඹ සිට ගම්බිම් බලා යාමට නොහැකි වූ පිරිස් තමා දැනට සිටින ස්ථානවල රැඳී සිට අවුරුදු සමරන ලෙස පොලිසිය ඉල්ලා සිටී. ඇඳිරිනීතිය පවත්නා ප්‍රදේශවල නිකරුණේ ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. අත්‍යවශ්‍ය සේවාවල නිරත වන අය හැර, ඇඳිරිනීතිය කඩ කරමින් දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයේ නිරතවන සෙසු පිරිස් සඳහා ද නීතිය තදින් ක්‍රියාත්මකයි.

    රජය ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළේ, සමාජ දුරස්ථභාවය ඇති කරමින්, කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහායි. අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරිනීතිය ලබන 16 වැනිදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කර තිබේ. යළි පස්වරු 4.00ට එම ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීමට නියමිතයි.

    ඇඳිරිනීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ජනතා යහපත වෙනුවෙන් ගෙන ඇති බැවින්, ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් හා වගකීමෙන් යුතුව ඉවසා සිටින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර, උත්සව සමයට එකම හිස්ගොඩක් බවට පත්වන පිටකොටුව සහ මහරගම පමුණුව ප්‍රදේශවල අද දක්නට ලැබුණු තත්වයයි මේ.

    Last modified on ඉරිදා, 12 අප්‍රේල් 2020 20:31

    Latest News