විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳව, රජය දැඩි විමසිල්ලෙන්‌ (වීඩියෝ)

අප්‍රේ 11, 2020
  • මෙම වසංගත අවස්ථාවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන තත්වයන් පිළිබඳව, රජය දැඩි විමසිල්ලෙන්‌ පසුවන අතර ඊට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන බව විදේශ ලේකම්‌ රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

    විවිධ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට, එම රටවලදි මතුවන ගැටලු විසඳාගැනීම සඳහා සහය වීමට, ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැනටමත්‌ ක්‍රියාකරන බවයි, විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

    විදේශ සබඳතා අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව මිලියන 2.6 ඉක්මවයි. ඉන්‌ කොටසක්‌, විවිධ රටවල පුරවැසියන්‌ ලෙස ජීවත්‌ වන අතර අනෙක්‌ පිරිස රැකියාවල නිරත වන්නන්‌ හා සිසුන්ගෙන්‌ සමන්විත වේ. මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 ක්‌ පමණ වේ.

    කොවිඩ්‌ 19 රෝගයේ ව්‍යාප්තිය හා විවිධ රටවල්‌ ඊට මුහුණදීම සඳහා පනවා ඇති සීමාවන්‌ මධ්‍යයේ ඔවුහු විවිධ අභියෝගවලට මුහුණ දෙමින්‌ සිටිති.

    මේ අතර, විදේශ ගුවන්‌ තොටුපොළවල අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්‌ 33 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට රජය මේ වන විට පියවර ගෙන තිබේ. ලොව බොහෝ රටවල දැන්‌ මේ ක්‍රියාමාර්ගය අනුගමනය කෙරෙන අතර ඉන්දියාවේ අතරමං වී සිටින විසිදහසක්‌ පමණ වන බ්‍රිතාන්‍ය සංචාරකයන්‌ ආපසු ගෙන ඒම සඳහා එරට රජය විශේෂ ගුවන්‌ ගමන්‌ පවත්වාගෙන යන බව වාර්තාවේ.

    මේ අතර බංග්ලාදේශය ද ඉන්දියාවේ අතරමං වී සිටින තම රට වැසියන්‌ 2,500 කට අධික සංඛ්‍යාවක්‌ ආපසු ගෙන්වා ගැනීම සඳහා ප්‍රයත්නයක නිරතව සිටියි.

    Latest News