ඇසළ වීරකෝන් SAARC මහලේකම් ධුරයට

ඔක් 06, 2019

    හිටපු විදේශ කටයුතු ලේකම් සහ ජ්‍යෙෂ්ඨ වෘත්තීය තානාපති ඇසල වීරකෝන් මහතාගේ නම දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) 14 වන මහලේකම් ධුරයට  අනුමත වි තිබේ.

    ඒ නිව්යෝර්ක් නුවර පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) අමාත්‍ය මණ්ඩල කවුන්සිලයේ නිළ නොවන හමුවේදීය. ඇසල වීරකෝන් මහතා මේ වන විට ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කරයි.

    SAARC මහ ලේකම් ධුරය 2020 මාර්තු 1වන දින සිට ක්‍රියාත්මකවිමට නියමිතයි.

    මෙම හමුවෙහි මුලසුන නේපාල විදේශ අමාත්‍ය ප්‍රදීප් කුමාර් ග්‍යාවාලි මහතා විසින් වන අතර ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය සලාහුදීන් රබ්බානි, භූතානයේ විදේශ අමාත්‍ය ආචාර්ය තන්දි ඩෝර්ජි, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්, මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ්, පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මහමුද් කුරේෂි, බංගලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂාරියාර් අලාම් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ලේකම්වරයා හෙබවු බව විදේශ අමත්‍යංශය පවසයි.

    දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ මීළඟ මහලේකම්වරයාගේ අනුමැතිය පිළිගත් අතර ශ්‍රී ලංකාව සාර්ක් සංවිධානය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පවසා තිබේ.

    sarrcasala1 px 900 19 10 06

    දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය පසුගිය වසරේ ලබා ඇති ප්‍රගතිය විදේශ අමාත්‍යවරුන් විසින් සමාලෝචනය කර ඇති අතර වෙළඳ කටයුතු දියුණුව, ආයෝජන, අන්‍යෝන්‍ය සම්බන්ධතා, සංචාරක ව්‍යාපාර, සංස්කෘතිය, ආරක්ෂාව, සාමය සහ ස්ථාවරත්වය සඳහා කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කර තිබේ.

    සාර්ක් කලාපය උපයෝගී කර නොගත් මානව හා ස්වාභාවික සම්පත් විභවයන්ගෙන් පොහොසත් බව විදේශ කටයුතු ලේකම්වරයා විසින් අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ඉහළ ප්‍රමුඛතාවයක් ලබා ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. සම්බන්ධතාව, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමේදී කලාපීය සහයෝගීතාවය පුළුල් කිරීම කලාපයේ තිරසාර සංවර්ධනයට සහ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සංවර්ධනයට අතිශයින් වැදගත් බව ඔහු පැවසීය.

    පාස්කු ඉරුදින ප‍්‍රහාරයේදී ශ්‍රී ලංකාව අත්විඳි පරිදි, ත‍්‍රස්තවාදය සහ ප‍්‍රචණ්ඩකාරී අන්තවාදය කලාපයේ සාමූහික සාමයට හා ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව විදේශ ලේකම් විසින් පෙන්වා දි තිබේ. පසුගිය වසරවලදී ත‍්‍රස්තවාදී වසංගතයෙන් දකුණු ආසියාව අසාමාන්‍ය ලෙස බලපෑමට ලක්ව ඇති බව ඔහු පෙන්වා දුන් බව විදේශ අමාත්‍යංශය පවසයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ සංවාද අතර තොරතුරු හුවමාරු කිරීම හරහා අන්තර්ජාතික ත්‍රස්තවාදී තර්ජන සාමූහිකව විසඳා ගැනීමට සාමාජික රටවල් උත්සාහ කළ යුතු බව ඔහු තවදුරටත් පෙන්වා දි තිබේ.

    කලාව තුළින් මනුෂ්‍ය සබඳතා සහ කලාපීය සමගිය ප්‍රවර්ධනය කිරීමේ අදහසින්, සංස්කෘතිය සඳහා සාර්ක් න්‍යාය පත්‍රය සඳහා වූ සිය කැපවීම ද ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කළේය. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා වන නවීන කලා සංකීර්ණය ශ්‍රී ලංකාවේ මාතර ප්‍රදේශයෙහි ඉදිවෙමින් පවතී. මේ වන විට ශ්‍රී ලංකා රජය ඉදිකිරීම් කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10.5 ක් ලබා දී ඇත. සාමාජික රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දකුණු ආසියාවේ වටිනා සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සාමාජික රටවල් සමඟ සහභාගීත්ව හා සහභාගී වීමෙන් තොර ක්‍රියාකාරකම් රාශියක් සංවිධානය කරයි.

    Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2019 09:53

    Latest News