ව්‍යසනකාරී අවස්ථාවක දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා - මහා සංඝරත්නය (වීඩියෝ)

අප්‍රේ 05, 2020
  • ව්‍යසනකාරී අවස්ථාවක දේශපාලන වාසි ලබාගැනීමට විපක්‍ෂයේ ඇතැමුන් උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බව, මහා සංඝරත්නය පවසති.

    පසුගියදා පැවති සර්ව පක්ෂ නි‍යෝජිතයන්ගේ හමුවේ දී, පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, මේ අදහස් පළ කෙරිණ.

    පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමි.....
    “පාර්ලිමේන්තුව රැස් කරලා මේ රෝගයට දේශපාලන උපදෙස් ගන්නද දේශපාලන වශයෙන් රැස් වෙන්නේ? මේ වෙලාවේදී වැදගත් වෙන්නේ දේශපාලන උපදෙස්වලට වඩා වෛද්‍ය උපදෙස්“.

    පූජ්‍ය මැටරඹ හේමරතන හිමි...
    “ඕනෑම ප්‍රශ්නයක් කතාකරලා නිරාකරණය කරගන්න පුළුවන්කම තිබියදී පාර්ලිමේන්තුව රැස්කරන්න කතාකරන්නේ අනවශ්‍ය අවුල් මතවාද ඇතිකරලා, රටටත් ලෝකයාටත් දීල ව්‍යසනකාරී තත්වයක් ඇතිකරන්න කියලා අපි කල්පනා කරනවා.

    පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි....
    “මේ විදිහේ අවස්ථාවක අපි කැඳවන්න කියන්නේ ව්‍යවස්ථානුකූලව විසුරුවා හැරපු රජයක්. උතුරේ ද්‍රවිඩ නායකයෙකු වන සුමන්තිරන් මහතා මෑත කාලයේ සපයපු විශාල විහිලු කතාවක් කියලයි මම මේක සලකන්නේ. හැබැයි මම විහිළුව කියන වචනය පාවිච්චි කළත්, විහිලුවට වඩා වැඩි දෙයක් සුමන්තිරන් මහත්තයාගේ හිතේ තිබුණා කියල මම විශ්වාස කරනවා. උතුරේ සුමන්තිරන් වැනි නායකයන්ට උවමනා කරන්නේ අස්ථාවර රජයක්. රටේ තත්වය අස්ථාවර කරලා ඔවුන්ගේ අදහස් ඉෂ්ට කරගන්න තමයි ඔවුන් වෑයම් කරන්නේ.

    පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි....
    “කැඳෙව්වයි කියලා දෙන්න පුළුවන් විසඳුම මොකක්ද මේ පාර්ලිමේන්තුවට. එහෙම විශේෂඥයෝ පිරිසක් ඉන්නවද මේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිතුමා විශාල කැපකිරීමක් ඇතුව පරිත්‍යාගශීලිව කළමනාකරණය කරමින් මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. අවාසනාවකටවත් හිටිය පිරිස හිටියා නම් අද අපි මැරුණ තැන්වල මේ තුන් මාසේ හයිබ්‍රිඩ් ගසුත් පැළවෙලා ඉවරයි“.

    Latest News