අප්‍රේල් 01 සිට 07 දක්වා ජනතාවට ආශිර්වාද කිරීමට යොමු වන්නැයි ඉල්ලීමක්

මාර් 30, 2020

    අප්‍රේල් පළමුවැනිදා සිට 07 වැනිදා දක්වා කාලය තුළ ජනතාවට ආශිර්වාද කිරීමට යොමු වන්නැයි, ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    රාත්‍රී 7.00 සිට 8.00 දක්වා ජනතාවට ආශිර්වාදය පිණිස යොමුවන ලෙසයි, උන්වහන්සේ දැනුම් දෙන්නේ.


    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම තුළින් මහා සංඝරත්නය බලවත් කනස්සල්ලට හා සංවේගයට පත්වී සිටින බව, නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එවන් තත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවාසී ජනතාව දානමානාදිය සපයමින් දක්වන කාරුණික බව, අගය කරන බව ද උන්වහන්සේ කියා සිටී. භික්ෂුන් වහන්සේ වසර 2,500කට ආසන් කාලයක් සිව් පසයෙන් රැක බලාගත් ජනතාව පීඩාවට පත්ව ඇති මේ මොහොතේ ඔවුන් වෙනුවෙන් සුවිශේෂි කැපකිරීමක් කළ යුතු බව, සංඝරත්නය සඳහන් කරයි. මේ වෙනුවෙන් සියළුම වෙහෙර විහාරස්ථානවල අප්‍රේල් මස පළමුවැනිදා සිට දින 7ක් දිනපතා රාත්‍රී 7.00ට ගන්ඨාර නාද කොට ශබ්ද විකාශන මගින් පන්සිල් සමාදන් කර අනතුරුව බුද්ධ වන්දනා කරන ලෙස මහා සංඝරත්නය දැනුම් දෙයි.


    අනතුරුව රතන සූත්‍රය සහ ගිරිමානන්ද සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කොට ප්‍ර ප්‍රදේශවාසී පින්වතුන්ට, රටවාසී හා ලෝකවාසී ජනතාවට නිරෝගී බව හා ජිවිත ආරක්‍ෂාව පතා සත්ක්‍රියා කරන ලෙස ඉල්ලීමක් කෙරේ. එම දිනවල එකම වේලාවක ආරම්භ කර, එකම වේලාවක අවසන් කර රාත්‍රී 7.55ට සත් ක්‍රියාව සිද්ධ කිරීමෙන් විශාල ආධ්‍යාත්මික බලයකින් රටේ ජනතාවටත් ලෝකවාසීන්ටත් යහපතක් වන බව උන්වහන්සේගේ විශ්වාසය බව නිවේදනයේ දැක්වේ. ගිහි ජනතාව රජයේ නිවේදන අකුරටම පිළිපදිමින් නීති ගරුකව නිවෙස්වල සිටින ලෙස ද නිවේදනයේ සඳහන්.

    Latest News