රිය අනතුරුවල දී දරුවන්ගේ ජීවිතාරක්ෂාවට නව අසුනක්

මාර් 03, 2020

    රිය අනතුරුවල දී දරුවන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා නව ජීවිතාරක්ෂක අසුනක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට අනුබද්ධ මාර්ග ආරක්ෂණ ජාතික සභාව, හා ලංකා ඔටෝමොබයිල් සංගමය මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ද එක්ව මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධව විශේෂ වැඩ සටහනක් ඊයේ (02) අම්බලන්තොට දී පවත්වනු ලැබීය.

    විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ දි මාර්ග අනතුරුවල දී දරුවන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා වන නව අසුනක් හඳුන්වා දීම ද සිදු කෙරිනි.

    විශේෂයෙන් මෑතක සිට පුද්ගලික වාහනවලින් ගමන් කරමින් සිටිය දී සිදුවන මාර්ග අනතුරුවල දී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා දරුවන්ට ජීවිත මෙන්ම ශාරීරික හානි සිදුවන අවස්ථා බහුල වී තිබේ.

    එමනිසා එම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම නව ජීවිතාරක්ෂක අසුන හඳුන්වා දීමට ජාතික මාර්ග ආරක්ෂණ ජාතික සභාව විසින් පියවර ගන්නා ලදී. ඒ අනුව මෙමගින් දරුවන්ට වාහන අනතුරක දී ඔවුන්ගේ ජීවිතවලට හානියක් නොවී ආරක්ෂා වීමට හැකියාව ඇතැයි එම සභාව පවසයි.

    මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මෙම වසරේ ඉදිරි මාස 10 තුළ මාර්ග අනතුරුවලින් අඩු තරමින් පුද්ගලයින් 3000ක් වත් මරණයට පත්වීමට හැකි බව පුරෝකථනය කර ඇති බවයි. ඒමෙන්ම පසුගිය කාලය තුළ දිනක දී හදිසි අනතුරු නිසා සිදු වූ මරණ සංඛ්‍යාව පුද්ගලයින් 6-7ක් වුවද, මේ වනවිට එය 09 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද අමාත්‍යවරයා කීය.

    හදිසි අනතුරකට ලක් වු පුද්ගලයෙකුට ප්‍රතිකාර ලබා දීමේ දී රජය විසින් වැය කරන මුදල රුපියල් 100 සිට රුපියල් කෝටිය දක්වා ඉහළ ගොස් තිබෙන අතර සෞඛ්‍ය අංශ විසින් ගණනය කර ඇති ආකාරයට රුපියල් බිලියන 100කට වඩා හදිසි අනතුරුවලට ලක් වුවන් ප්‍රතිකාර ලබා දීමට මෙම වසර තුළ දී වැය වෙතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඒමෙන්ම මෙම දරුවන්ගේ ආරක්ෂාව සඳහා වන අසුන සෑම පුද්ගලික වාහනයකම අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 09:54

    Latest News