විශ්‍රාමික පුරවැසියන්ට දුම්රිය ආසන වෙන්කිරීමේ අළුත් ක්‍රමයක්

පෙබ 19, 2020

    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දුම්රිය ආසන වෙන් කිරීමේ නව ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මකයි.

    අන්තර්ජාලය ඔස්සේ එම සේවාව සෘජුවම දුම්රිය ස්ථානවලින් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නව සේවාව කොටුව දුම්රිය ස්ථානයේදී අද සංකේතාත්මකව ආරම්භ කෙරුණේ, මහින්ද අමරවීර,ජනක බණ්ඩාර තෙන්නකෝන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබේ. දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ දී විශ්‍රාමිකයන් මුහුණදෙන ගැටලුවලට විසඳුමක් ලෙස නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ජාතික හැඳුනුම්පත භාවිතයෙන් සේවාව ලබා ගත හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මේ සඳහා පෙර පැවති ක්‍රමවේදය වන්නේ විශ්‍රාමිකයා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිදහස් දුම්රිය බලපත්‍ර අයැදුම්පතක් ලබා ගෙන සම්පූර්ණ කරන ලද අයැදුම්පත ග්‍රාම නිලධාරී මගින් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර නිදහස් දුම්රිය බලපත්‍ර ලබා ගෙන දුම්රිය ස්ථානයට ගොස් ප්‍රවේශපත්‍රය ලබා ගැනීමයි. මෙය විශ්‍රාමිකයන්ගේ කාලය හා ශ්‍රමය වැය වන දුෂ්කර ක්‍රමවේදයක් බැවින් එය පහසු කිරීම සඳහා නව ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. ඒ අනූව විශ්‍රාමික පුරවැසියන්ට නිදහස් දුම්රිය බලපත්‍ර ලබා ගැනීමට රාජ්‍ය ආයතන කිහිපයක් වෙත යාම අවශ්‍ය නොවනු ඇති.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 12:46

    Latest News