අධිකරණයට අපහාස චෝදනාවකට රිමාන්ඩ් භාරයේ සිටි නීතිඥ අජිත් ප්‍රසන්නට ඇප

පෙබ 19, 2020

    අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

    මෙම පැමිණිල්ල අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විනිසුරුවරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

    එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙහි ඇපකරුවන් දෙදෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවත් ඉන් එක් ඇපකරුවකු රජයේ සේවකයෙකු විය යුතු බවටත් නියෝග කර ඇත.

    අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුතු පිළිබඳව මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම විත්තිකරුට සම්පූර්ණයෙන්ම තහනම් කරමින් විනිසුරුවරයා විසින් විත්තිකරු වෙත ඇප කොන්දේසියක් ද පනවනු ලැබ ඇති බව වාර්තාවේ.

    මෙම ඇප කොන්දේසිය පිළිබඳව දැනගැනීම සඳහා දිවයිනේ පිහිටි සියලුම ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කරන ලදී.

    මෙම කොන්දේසිය විත්තිකරු විසින් පිළිපදින්නේ ද? යන්න ෙනිරීක්ෂණය කරන ලෙස රහස් පොලිසිය අධ්‍යක්ෂවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම කොන්දේසිය විත්තිකරු විසින් උල්ලංඝනය කර තිබේ නම් ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කළ යුතු බවට ද නියෝග කර ඇත.

    විත්තිකරු විසින් මෙම ඇප කොන්දේසිය උල්ලංඝනය කර තිබෙන බවට කරුණු තහවුරු වුවොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන බවද විනිසුරුවරයා අවධාරණය කර තිබේ.

    මෙහිදී විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පෙනී සිටිමින් ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

    තමා මෙම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින්නේ මින්මතුවට අධිකරණයට අපහාසාත්මක වන මාධ්‍ය සාකච්ඡාවලට සහභාගී නොවන බවට ඔහු විසින් තමන්ට ලබා දුන් ප්‍රතිඥාවක් අනුව බව ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

    තම සේවාදායකයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුතු තුනක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම නඩු කටයුතු වලට මුහුණදීම සඳහා ඔහු ඇප මත නිදහස් වී සිටීම ඉතා වැදගත් වන බවයි පෙන්වා දුන්නේ.

    තම සේවාදායකයා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මතභේදකාරී අදහස් පළකර තිබෙන්නේ රණවිරු සංවිධානයක් වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා මිස ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත නොවන බවත් මෙහිදී සඳහන් කර සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා විසින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාට මෙන්ම අධිකරණ සේවා කොමිසමට ද පැමිණිලි ඉදිරිපත් කර තිබෙන සඳහන් කර ඇත.

    මෙහිදී විනිසුරු ධම්මික ගනේපොල මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ඇතැම් පුද්ගලයින් පෙත්සම් භාර දීම සිදු කරන්නේ හුදු ප්‍රචාරය ලබා ගැනීමේ අරමුණින් පමණක් බව සඳහන් කර තිබේ.

    පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් අධිකරණවලට පහර දෙන බවත් එහි අවසන් ප්‍රතිඵලය පිළිබඳව ඔවුන් නොසිතීම බරපතළ කරුණක් බවත් මෙහිදී විනිසුරු ගනේපොල මහතා අවධාරණය කර ඇත.

    වැඩි දුරටත් ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා තම සේවාදායකයා මින්මතුවට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් අධිකරණ කටයුතුවලට මැදිහත් වීම් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන හෙයින් ඔහු ඕනෑම කොන්දේසි සහිත ඇපයක් මත මුදා හරින මෙන් ඉල්ලා තිබේ.

    එම ඉල්ලීමට විරෝධය පළ කර සිටි රජයේ නීතිඥවරයා අද දින මෙම නඩුව කැඳවනු ලබන්නේ නඩුවට අදාළ ලේඛන භාර දීමේ කාර්යය සඳහා පමණක් බව ප්‍රකාශ කර ඇත.

    මෙම විත්තිකරු සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවත් මෙම නඩුවට ඇප ලබා දුන්නද ඔහුට නිදහස වී යාමේ හැකියාවක් නොමැති බවත් රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

    මහාධිකරණය හමුවේ පවතින නඩු කටයුත්තක් විවේචනය කරමින් මෙම විත්තිකරු විසින් සිදුකර තිබෙන වරද බරපතළ වරදක් යැයි පෙන්වා දුන් රජයේ නීතිඥවරයා නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බවට ප්‍රකට කියමනක් තිබෙන බව ද පෙන්වා දී ඇත.

    එහෙත් මෙම නඩුවේ විත්තිකරු නීතිඥවරයෙකු බවත් නීතිය පිළිබඳව දන්නා මෙවැනි පුද්ගලයෙකු මාධ්‍ය සාකච්ඡාවලදී කර තිබෙන ප්‍රකාශ දෙස බැලීමේදී ඔහු විසින් සිදුකර තිබෙන වරද ඉතා බරපතළ ගණයේ ලා සැලකිය යුතු තත්ත්වයක් යැයි පෙන්වා දුන් රජයේ නීතිඥවරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවද සඳහන් කර තිබේ.

    කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව විත්තිකාර අජිත් ප්‍රසන්න ඇප මත මුදාහැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත මාර්තු මස 4 වනදා කැඳවන ලෙසද නියෝග කර ඇත.

    ඉකුත් ජනවාරි මස 12 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ පැවැත්වෙන නඩු කටයුත්තක් පිළිබඳව පළකරන ලද අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනාකර නීතිපතිවරයා විසින් විත්තිකාර අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    Latest News