පෙත්සම් විභාගයේ තීන්දුව ඉක්මනින් ගැනිමේ උත්සහයක් (විඩියෝ)

දෙසැ 10, 2018
  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේ තීන්දුව කඩිනමින් ලබාදෙන ලෙස, හෙට නීතිපති මගින් අගවිනිසුරු නලින් පෙරේරා මහතාගෙන් ඉල්ලීමක් කරන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.

    ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිතුමා අතර විශේෂ හමුවක් අද පස්වරුවේ පැවති අවස්ථාවේදී.

    එම හමුවේ දී ජනාධිපතිතුමා සිය ස්ථාවරය ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ. මේ අනුව නඩු තීන්දුව 14 වැනිදාට පෙර ලබා ගැනීමට හැකියාවක් ඇත්ද යන්න අගවිනිසුරුගෙන් විමසීමට බලාපොරොත්තු වන බව විමල් වීරවංශ මහතා අද මාධ්‍ය වෙත කියා සිටියේය.

    පා.ම. විමල් වීරවංශ - “මේ වසරේ අවසන් දින කිහිප ගෙවෙමින් පවතින්නේ. හුදු මහත් ජනතාවම බලාපොරොත්තු වනවා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව. ඒ වගේම ජනාධිපතිතුමත් අපට දැනුම් දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවත්වනු ලැබු පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව ඉක්මණින් ලබාදීමට නීතිපති මගින් අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කරන බවට. 

    සාමාන්‍ය ක්‍රමවේදයට අනුව 14 වැනිදායින් පසු අධිකරණයේ නිවාඩු කාලසීමාවක් ආරම්භ වන බව විමල් වීරවංශ මහතා පෙන්වා දුනි. අධිකරණයේ නිවාඩු කාලය වුවද, තීන්දු ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති බව ද ඔහු කියා සිටී. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය 14 වැනිදාට පෙර තීන්දුව ප්‍රකාශ කරනු ඇති බවට විමල් වීරවංශ මහතා විශ්වාසය පළ කරයි.

    තවදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා - “ අපි මේ වනවිට අභියාචනාධිකරණයෙන් ලබාදුන් තීන්දු පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ලෝකේ කිසිම අභියාචනාධිකරණයක් නොගත් තීන්දුවක් පසුගියදා ගත්තා. මම දන්නේ නැහැ කොහොමද මේ තීන්දුව ගත්තේ කියලා. මම හිතන්නේ නැහැ අභියාචනාධිකරණයට එහෙම තීන්දුවක් ගන්න පුලුවන් ද කියලා. ඒ ගැන විශාල විවාදයක් මතුවෙලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාගෙත්, අමාත්‍ය මණ්ඩලයේත් ක්‍රියාත්මක වීම අත්හිටෙව්වා. ඒකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපි ඉදිරිපත් කළ පැමිණිල්ල විභාග කිරීමට තවම දිනයක්වත් ප්‍රකාශයට පත්කරලා නැහැ. රටේ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වීමට එරෙහිව දුන් තීන්දුවට අප විසින් කළ අභියාචනයට මේ වනතෙක් කවුද විනිසුරුවරුන් දිනයක්වත් මේ වනවිට ලබාදී නැත්නම් ඒකෙන් පේන්නේ එක්තරා ආකාරයක අසාමාන්‍ය හැසිරීමක්.

    අපි හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණයට අවශ්‍යතාවක් නැහැ කියලා රට අස්ථාවර කිරිමට හෝ අරාජික කිරිමට. රට අස්ථාවර කිරීමට හෝ අරාජික කිරීමට අවශ්‍යතාවක් නැත්නම්, අපි හිතනවා 14 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුව ලබාදෙයි කියලා. එහෙම නෙමෙයිනම් අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණයෙන් දුන් අතුරු තහනම් නියෝගයට දුන් නඩුවත් විභාග නොකර දිග්ගැස්සෙන්න හැරියොත් මේ රටේ ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමන් ඇතුලු අධිකරණ පද්ධතිය ගැන අවිශ්වාසයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. අපි විශ්වාස කරනවා අගවිනිසුරුතුමා හෝ මේ රටේ අධිකරණයේ මහත්ම, මහත්මීහු එතනට වැටීමට වැඩ නොකරාවි යැයි ඔහු කියා සිටියේය.

    Last modified on සදුදා, 10 දෙසැම්බර් 2018 19:04

    Latest News