'හතේ අපේ පොත' ගැන අවසන් තීරණය අද

ජන 21, 2020

    ආන්දෝලනයකට ලක්ව ඇති "හතේ අපේ පොත" නැමැති ග්‍රන්ථය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අද (21) විශේෂ රැස්වීමක් කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබේ.

    අද පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම ඒකාබද්ධ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.

    එම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

    පාර්ලිමේන්තුවේදී පසුගියදා (09) පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමට මහා සංඝරත්නය, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාලවල මහාචාර්යවරුන්,ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්,අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වු විද්වතුන් බොහෝ දෙනෙක් ළමා වියේදීම නවයොවුන් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයය සහ විශ්ව විද්‍යාල විසින් සිදු කළ සමීක්ෂණ රැසක තොරතුරු ද ඉදිරිපත් කරන ලදී.

    ඒ අනුව "හතේ අපේ පොත" නැමති ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කළ යුතු ද යන්න සම්බන්ධ අද (21) අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.

    හතේ අපේ පොත ග්‍රන්ථය පාසල් ළමුන්ට ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගනු ලැබුවේය.

    Latest News