කළු කොටියා තවමත් මෙරට ජීවත්වන බවට තහවුරු වෙයි (වීඩියේ)

ජන 20, 2020
  • ඉතාම දුර්ලභ වර්ගයේ ප්‍රභේදයක් වන ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ජීවත්වන බව, තහවුරුකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. ඒ කළු කොටියෙකුගේ ඡායාරූප කැමරාවක සටහන් කර ගැනීමත් සමග.

    ලොව වෙසෙන කොටි වර්ග 8ක් අතුරෙන් ශ්‍රී ලංකාවේ කොටියා නමැති උප විශේෂය සුවිශේෂී වෙයි. ඒ ඔවුන්ගේ ඉතාමත් සීමිත ගහණය හේතුවෙන්. මෙතෙක් කල් දුර්ලභ වර්ගයේ බවට විශ්වාස කළ කළු කොටියා සැලකෙන්නේ, ශ්‍රී ලංකාවේ කොටියා නමැති උප විශේෂයේ වර්ණ ප්‍රභේදයක් ලෙසයි. අවසන් කළු කොටියා ලෙස මීට පෙර තොරතුරු වාර්තා වූයේ පිටදෙණිය,මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුවී මියගොස් තිබූ සත්වයෙකි. එම සත්වයාගේ හම භාවිත කරමින් ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ නිර්මාණය කළ අනුරුව ශ්‍රී ලංකාවේ කළු කොටියාගේ අවසන් සාක්ෂිය ලෙස සැලකිණ, එහෙත් වනජීවී දෙපාර්තමේන්තුව දීප ව්‍යාප්තව සිදු කරන කොටි පිළිබඳ ගවේෂණය එය වෙනස් කිරීමට සමත් විය. කළු කොටියා ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවී දෙපාර්තමේන්තුව විසින් දුරස්ථ චලන කැමරා සවි කරනු ලැබීය.

    ඉන් එක් ස්ථානයක පමණක් ඔක්තෝබර් 26 වැනි දින කළු කොටි ගැවෙසන බවට සාක්ෂි සටහන්වී තිබිණ. ඒ අනූව, සාක්ෂි ඔස්සේ වනජීවී දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ජීවත් වන බවට තහවුරු කර ගැනිණ. මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උප විශේෂයට අයත් ගැහැණු සත්වයෙකු, පැටවුන් දෙදෙනෙකු හා තවත් පිරිමි සත්වයෙකු ද සිටින බවට අනාවරණය වී තිබේ. මෙම ගවේෂණය සිදු කෙරුණේ වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍ය මාල අබේවර්ධන, වෛද්‍ය මනෝජ් අකලංක යන නිලධාරීන්ගේ මූලිකත්වයෙන්.

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 09:58

    Latest News