මද්දකට හසුවී මුදා ගත් කලු කොටියා මිය යයි

මැයි 29, 2020

    ශ්‍රී පාද රක්‍ෂිතයේ මද්දකට හසුවී සිටියදී මුදා ගනු ලැබූ කලු කොටියා අද උදෑසන මිය ගොස්‌ තිබේ.

    අප වාර්තාකරු සඳහන් කළේ, එම කොටියා උඩවලව ඇත්‌අතුරු සෙවණේ පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටි බවයි.

    නල්ලතන්නිය පොලිස්‌ වසමට අයත්‌ ලක්‍ෂපාන, වාලමලෙයිවත්තේ, එළවලු වගා භූමියක දඬයම්කරුවන්‌ අටවා තිබූ මද්දකට මෙම දුර්ලභ ගණයේ කලු කොටියා පසුගියදා හසුවිය. අනතුරුව, උඩවලව ඇත්අතුරු සෙවණේ හා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛදවරුන්‌ කොටියා නිර්වින්දනය කර මුදා ගනු ලැබිණ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත්අතුරු සෙවණේ පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස්‌ ප්‍රතිකාර ලබමින්‌ සිටියදීයි කොටියා මෙලෙස මියගොස්‌ ඇත්තේ. ශ්‍රී පාද රක්ෂිතයේ මෙවැනි කොටින්‌ කිහිපදෙනෙකු වාසය කරන බවට හඳුනාගෙන ඇත.

    මියගිය කොටියාගේ පශ්චාද්‌ මරණ පරීක්‍ෂණය උඩවලව ඇත්අතුරු සෙවණ පශු වෛද්‍ය රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

    Latest News