නීතිය රකින ආයතන පසුගිය ආණ්ඩුව හෑල්ලු කළා - රන්ජන්ගේ හඬ පට වලින් පේනවා...ඇමැති ජොන්ස්ටන්

ජන 15, 2020

    පසුගිය ආණ්ඩුව මෙරට නීතිය රකින ආයතන හෑල්ලුවට ලක් කිරිම රන්ජන් රාමනායකගේ හඞපට වලින් පැහැදිලි වන බව වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවේදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමිනි. පසුගිය ආණ්ඩුවෙන් සිදුවූ වැරදි නිවැරදි කොට ජනතාවට සාධාරණයක් ඉටුකෙරෙන යුගයක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජයට විශාල වගකීමක් පවතින බව ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේය.

    “රංජන්ගේ හඞපට විතරයි එළියට ඇවිල්ලා තියෙන්නේ. ඔය වගේ තව ගණනාවක් ඇමතිවරු හිටියා. ඔවුන්ගේ හඞපට තවම ඇවිල්ලා නැහැ. සමහර විට රංජන් වගේ ඔවුන් රෙකෝඩ් කරලා තියාගන්නේ නැතිව ඇති. එතකොට මේක රංජන් රාමනායකගේ විතරක් ඇ‍ගේ දාලා බේරෙන්න බැහැ පහුගිය යහපාලන ආණ්ඩුවට. ඒකෙ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍ර‍ධාන ඇමතිවරු සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන. ඔවුන් කළේ දේශපාලන දඩයමක්. එතකොට රංජන් රාමනායකගේ හඞපට වල තියෙන කුණුහරප ගැන කතාකරලා වැඩක් නැහැ. ඒකෙන් පේන්නේ ඔහුට මානසික රෝගයක් තියෙනවා කියන එකයි. හැබැයි මේකෙ භයානකකම තමයි ඔහු අධිකරණයට කෙළින්ම නඩුකාරවරුන්ට, නඩුකාරවරියන්ට කතා කරලා තියෙනවා. ඒවගේම CID එකේ අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිසියේ නිලධාරීන් ගණනාවකට, අල්ලස් කොමිසමට. මේව තව ගොඩක් තියෙනවා කියලයි අපිට ආරංචි. ඒකෙන් පේන්නේ සම්පූර්ණ අධිකරණ ක්ෂේත්‍ර‍යම පිළිබඳ තිබිච්ච විශ්වාසය විනාශ කරල තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මොකද්ද පැමිණිලි කළේ ඒ කාලේ. එතුමට චෝදනා කළේ ශිරානි බණ්ඩාරනායක මැතිනියව අයින් කළා කියලා. ඒක කළේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට අනුව.

    හැබැයි මේගොල්ලො ඇවිල්ලා කිව්වේ ස්වාධීන අධිකරණ ගේනවා කියලා. ඇවිල්ලා මොකද කරලා තියෙන්නේ නඩුකාරවරුන්ට සහ නඩුකාරවරියන්ට කතා කරලා විවිධ තීන්දු තීරණ ගැනීමේ දී ඒ නඩුවලට ඍජුව හා වක්‍ර‍ව කටයුතු කරන එකයි මේකෙන් පේන්නෙ. දැන් දුමින්ද සිල්වා මහත්තයා ගත්තම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මොහුව එල්ලුම් ගහට නියම කෙරුවා. ඊළඟට මහ ඇමතිතුමා ඔහු අදටත් රිමාන්ඩ් භාරයේ. ඊළඟට රණවිරුවෝ, මහා සංඝරත්නය, දේශපාලඥයෝ, රාජ්‍ය නිලධාරීන් මේ ආදී විවිධ පුද්ගලයන්ව ඔවුන් දඩයම් කෙරුවා. ඒකෙන් පැහැදිලිව පේනවා ඔවුන්ට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණය අපි නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රජය හරහා සාධාරණත්වය ඉටු විය යුතුයි කියලා ඒ වගේම අධිකරණ ක්ෂේත්‍රයේ පළුදු වී තිබෙන ඒ විශ්වාසය නැවත වරක් විශ්වාසයක් ඇති තැනක් බවට පරිවර්තනය කරන්න ඕන. යහපාලන ආණ්ඩුව කරලා තියෙන විනාශය එසේ මෙසේ නෙවෙයි. රංජන් රාමනායකගේ වීඩියෝවක් ගියා කියලා හිනාවෙන එක නෙවෙයි ඔහු මහ විශාල විනාශයක්"යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News