චීන,රුසියා,අමෙරිකා ඉහළ පෙළේ නියෝජිතයින් දිවයිනට

ජන 14, 2020

    චීනය,රුසියාව හා අමෙරිකාවේ ඉහළ පෙළේ නියේජිතයන් පිරිස දිවයිනට ළඟවිය. මෙම සංචාර මෙරටට ස්වර්ණමය අවස්ථාවක් වනු ඇති බවයි, අන්තර් ජාතික සබඳතා පිළිබඳ විද්වතුන් පවසන්නේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, ලොව ප්‍රබලතම රටවල් තුනෙහි ඉහළ පෙළේ නියෝජිත පිරිසක් එකවර මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

    චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා ඊයේ රාත්‍රී 11.00ට පමණ දිවයිනට පැමිණියේය. ඒ අප්‍රිකානු සංචාරය නිමා කරමින්. ඔහු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා හා විදේශ සබඳතා අමාත්‍යවරයා හමුවී සාකච්ජා පැවැත්වීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ චාරිකා කරන චීන රජයේ ඉහළතම නිලධාරියා අමාත්‍ය වැන්ග් ඊ මහතායි.

    මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝෆ් මහතා ද අද උදෑසන දිවයිනට පැමිණියේය. ඔහු ද ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ සබඳතා අමාත්‍යවරයා හමුවී සාකච්ජා පවත්වනු ඇති. රුසියානු විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරතවූයේ දස වසරකට පසුවයි.

    මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය ද අද අළුයම දිවයිනට ළඟාවිය. ඇගේ දෙදින සංචාරය අතරතුර මෙරට දේශපාලන අධිකාරිය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමුවී සාකච්ජා කරනු ඇති.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 11:11

    Latest News