පෙත්සම් විභාගය අවසන්..තීන්දුව කල් තබයි

දෙසැ 07, 2018

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම අවසන් කල සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය.

    ජනධිපතිගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තීන්දුව ලබා දෙන දිනය තුළ බලපැවැත්වෙන පරිදි දිර්ග කිරිමට නියෝග කර ඇත.

    අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.

    පුරා දින හතරක් පුරා පැවති විභාගය අවසන් කිරීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

    අද දින පෙත්සම්කරුවන් වෙනුවෙන් ප්‍රතිඋත්තර ප්‍රකාශ කිරීම ආරම්භ කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා කරුණු ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට සිවිල් හා අපරාධ නඩුවලින් නිදහස්ව සිටීම සදහා මුක්තියක් හිමිවී තිබුණද එම මුක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුලින් යම් සීමා කිරීමකට ලක් කර ඇති බව ඔහු අවධාරනය කලේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ විධායක සහ පරිපාලන ක්‍රියා වලට එරෙහිව මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරීමට ප්‍රතිපාදන සලසා ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා ඒ යටතේ ජනාධිපතිවරයාගේ නිල කටයුතු අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට හැකි බව කියා සිටියේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ද ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් බැවින් ඒ පිළිබඳව ද මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදන යටතේ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට හැකියාව තිබෙන බව ද ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා අවධාරණය කරනු ලැබුවේය.

    පෙත්සම්කාර පාර්ශවයේ සිසු නීතිඥවරුද මෙම කරුණු අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළහ.

    පාර්ලිමේන්තුව විසුරුව හැරිමට එරෙහි පෙත්සම් විභාගය - 2018 - 12- 07  (13.00)

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියම කළා. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්  පනවා තිබෙන තහනම් නියෝගය ලබන 8 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය නිම කළේය.
    මෙම පෙත්සම විභාග කරන සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ  අගවිනිසුරු නලින් පෙරේරා මහතා  ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති. පෙරවරුවේ අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීමක් ආරම්භ කෙරිණ.
    ඒ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62( 2) වගන්තිය යටතේ පාර්ලිමේන්තු නිල කාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට එය විසුරුවා හැරීමට තිබෙන බලතල පිළිබඳව තවදුරටත් කරුණු ඉදිරිපත් කළේය.
    1978 වසරෙන් පසුව පත්වූ එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල  එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 (2 ) වගන්තිය යටතේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය තුළ  අන්තර්ගතව තිබෙන බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
    අතරමැදි පෙත්සම්කරුවකු  වන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපති වරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභා කළ යුතු බවයි.
    පෙත්සම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට  පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත් එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ කාර්යභාරය බවත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කරනු ලැබුවද ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ප්‍රධාන මූලික අයිතිවාසිකමක් වන සර්වජන ඡන්ද අයිතිය උල්ලංගනය වන බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා  කියා සිටියේය.
    අග්‍රමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති යැයි හැඟී යන අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබෙන බවයි මනෝහරද සිල්වා ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
    අතරමැදි පෙත්සම්කරුවකු  වන  ජගත් වැල්ලවත්ත යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(c)) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් හිමි වී තිබෙන බව පෙන්වා දුන්නේය.
    ඒ අනුව මෙම විසුරුවා හැරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි ජනාධිපති නීතිඥ ශබ්රි මහතා පෙන්වා දුන්නේ. අග්‍රාමාත්‍යවරයා විධායක බලතල තමන් සතුව ඇතැයි සිතා කටයුතු කිරීම නිසාත් ජනාධිපතිවරයා විධායක බලය අතහැරදමා කටයුතු කිරීම නිසාත් ඇති වූ අර්බුදය අද අධිකරණය දක්වා පැමිණ ඇති බවද ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ  පෙන්වා දුන්නා. මෙය ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එය ජනතාව හමුවට ගොස් විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවයි කියා සිටියේය.
     
    අතරමැදි පෙස්සම්කරුවකු වන  ආචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33( 2)c වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය විවාදයකින් තොරව පිළිගත යුතු බව සදහන් කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 33(2)c සහ 62(2) ජනාධිපතිවරයාට බලය පවරා දී ඇති බවත් එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් කිසිදු වගන්තියකින් සීමාකිරීම්වලට ලක් කර නොමැති බවත් ජනාධිපති නීතිඥ මාරපන මහතා පෙන්වා දුන්නේය.
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් පෙත්සම්කරුවන්ගේ  මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු වී නොමැති බවත් මේ හේතුවෙන් අදාළ පෙත්සම් විභාගයට  නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ගාමිණී මාරපන ජනාධිපති නීතිඥවරයා  අධිකරණයෙන්   ඉල්ලා සිටියේය.
    වැඩිදුර විභාගය පැවැත්වෙයි.
    ජනාදිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ,ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය ,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල්  ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 08 දෙසැම්බර් 2018 08:33

    Latest News