දේශපාලන අර්බුදයේ දිනක ඒකපුද්ගල වැය රු. 100ක්

දෙසැ 07, 2018

    අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක අමතර වැය බරක් දැරීමට සිදුවන බව පාර්මේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළකලේ ෆේස්බුක් එකට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

    අදහස් දැක්වූ රණවක මහතා, "පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සමුළුව අමතා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අර්බුදය දින හතකින් විසඳන බව. ඒ වගේම මේ අර්බුදය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි එතුමා චෝදනා කළේ. එතුමා විසින් මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රුපියල් මිලියන 2000කට අධික ප්‍රමාණයක්, ඒ කියන්නේ මේ රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක් ඇති තිබෙනවා. දුගී දුප්පත් ජනතාවට නම් මේක එක වේලක් කෑමට වැය වන මුදල. ඒ වගේම පසුගිය 14,15, හා 16 දිනවල, පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනයට එරෙහිව සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙම කණ්ඩායම ප්‍රකාශ කළේ සමාන මතයක්. ඒ තමයි එය නීති විරෝධී බව. එය ව්‍යවස්ථාවට එරෙහි බව. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ මේ කිසිවක් සඳහන් නොවන බව. දෙවනුව ප්‍රකාශ කළේ එය කූට ලේඛනයක් බව. කූට ලේඛන පිලිබඳ කුප්‍රකට ඉතිහාසයක් තිබෙන චරිත කිහිපයක් විසින් තමන්ට උප්පැන්න සහතික හොරට හදපු අය, තමන්ගේ නොවන චෙක්පත් වලින් ප්‍රකෝටි ගණන් වංචා කරපු අය ඒවායින් ධනය උපයාගත් තක්කඩි රැලක් තමයි මේ කූට ලේඛන ගැන ජනතාවට කරුණු දක්වමින් ඉන්නේ. දැන් ඒ උගුලේ මහින්ද රාජපක්‍ෂ මහතාත් හසුවී හමාරයි. කෙසේ වෙතත් අභියාචනාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයත් අප විසින් දිගින් දිගටම පුන පුනා ප්‍රකාශ කළ දේ, එනම් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත්, මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව දැනටමත් සහතික කොට තිබෙනවා යැයි“ ඔහු කියා සිටියේය.

    Latest News