රටක් බලසිටි තීන්දුවේ ගමන් මග

දෙසැ 13, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය නීති විරෝධීයැයි, ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ශව 13ක් විසින් ගොනුකරනු ලැබූ පෙත්සම් විභාගයේ තීන්දුව  අද ප්‍රකාශයට පත් කෙරිණ. මෙම පෙත්සම සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණ අතර සියලු පෙත්සම් ඉකුත් 7 වැනි සිකුරාදා විභාගයට ගෙන අවසන් කලේය.

    මහ මැතිවරණය ප්‍රකාශ කිරිම සහ ඊට එරෙහිව පසුගිය මාසයකට ආසන්න කාලය තුල දේශපාලනික ක්‍රියා මාර්ග රට තුළ ක්‍රියාත්මක වුයේය. පාර්ලිමේන්තුව විසුරුව හැරීම, අධිකරණ ක්‍රියා මාර්ගයේ ගමන් මග සහ මෙම කාළය තුළ නිතිඥයින් අධිකරණයේ තමුන් නියෝජනය කරණ පර්ශව වෙනුවෙන් විවිධ අදහස් මතු කලේය.      

    නොවැම්බර් 09 වැනිදා -------

    අට වැනි පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේස ගැසට් නිවේදනයකින් නොවැම්බර් 09 වැනිදා විසරුවා හැරියේය. එ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය 2019 ජනවාරි 5 වැනිදා පැවැත්වීමට දින නියම කරනු ලැබිණි.

    ආණ්ඩුව ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ 2 ඈ අනුව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වැනි ව්‍යවස්ථාවේ 2 අනුව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ 5 අනූව ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වැනි වගන්තියේ විධිවිධාන අනූව ජනාධිපතිවරයා මෙම විසුරුවාහැරීම සිදු කර ඇති බව, එම ගැසට් පත්‍රයේ සඳහන්ව තිබිණ.

    නොවැම්බර් 12 වැනිදා----------

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව විසින් පෙත්සම ඉදිරිපත් කලේය.

    එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබුණි.

    මේ අනුව පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි. මෙම විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව ද පෙත්සම්කරුවන් එමගින් පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත්, විභාගය අවසන් තීන්දුවක් ලබාදෙන ලෙසත් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙත්සම්කරුවන් ඉල්ලා සිටියහ.

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නිකුත් කළ නියෝග වැනි නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ නොවැම්බර් 12 වැනිද විභගයට ගත්තේය.

    නොවැම්බර් 13 වැනිදා ------------

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නොවැම්බර් 13 වැනිදා නිකුත් කළේය. මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් ද අධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත ද මේ අනුව නිකුත් කරනු ලැබුවේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැනවු තහනම් නියෝග දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන ලෙස නියම කළ අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4, 5 සහ 6 යන දිනවල පවත්වන බවට අධිකරණයේ තීන්දු ප්‍රකාහ කලේය. මේ අනුව පෙත්සම් විභාගය පුරා දින දෙකක් තුළ දීර්ඝ කරුණු සලකා බැලීම් වලින් පසුව අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණ.

    නොවැම්බර් 16 වැනිදා---------------

    ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කිරිම නොවැම්බර් 16 වැනිදා සිදුකෙරිණ. මෙම නඩු විභාගයේ දී අතුරු පෙත්සම් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, අමාත්‍ය උදය ගම්මන්පිල, ජගත් වැල්ලවත්ත ,ආචාර්ය චන්න ජයසුමන සහ නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත යන මහත්වරු විසින් එම ඉල්ලීම ඉදිරිපත් කලේය.
    එයින් සඳහන් කර තිබුනේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳ සිද්ධිය සමාජයේ මහත් කැළඹීමකට ලක්වී ඇති කරුණක් බවයි. මේ හේතුවෙන් එම ක්‍රියාවලිය විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බවයි අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දි සිටියේ.

    නොවැමබර් 26 වැනිදා----------

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරිම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරිම නොවැම්බර් 26 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණ. අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙසත්, සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු නම් කර තිබිණ.

    දෙසැම්බර් 04 වැනිදා ------------------

    පාර්ලිමේන්තුව විසුරවීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම් විභාගය දෙසැම්බර් 04 වැනිදා අරම්භ විය. අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු ඊට එක් වුහ.

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා පෙත්සම් විභාගය ආරම්භයේදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කලේය.

    දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කනගේෂ්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවයි.

    පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය ඉන් එක් අවස්ථාවක් බව එම ද නීතිවෙදීන් පෙන්වා දුන්නේය. ඊට අමතරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නිතිඥවරු ප්‍රකාශ කර සිටියේය. එහෙත් මෙම නඩුවට පාදකවී තිබෙන විසුරුවා හැරීම මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන එම නීතිඥවරුන් එම විසුරුවා හැරිම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව අවධානරය කර සිටියේය.

    ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා කරුණු දක්වමින් ප්‍රශ්න ගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව අවධාරනය කලේය. මෙම විසුරුවාහැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුනද එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි බව ඔහු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, නීතිඥ ලාල් විජේනායක ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියා මාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන සංශෝධනයට මුළුමනින්ම පටහැනි බවයි.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සමට මැදිහත්වීම් පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත් වීමට පාර්ලිමේන්තුවේ නීතීඥ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනිම ද සිදුවිය.

    දෙසැම්බර් 05 වැනිදා------------------

    දෙසැම්බර් 05 වැනිද පෙත්සම් විභාගය ආරම්බ වු අවස්ථාවේ නීතිපති ජයන්ත ජයසුරිය මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුලින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා එල්ල කර ඇති බව කියා සිටියා. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුකම ව්‍යවස්ථාව 38 (2) (අ ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බවයි නීතිපතිවරයා පෙන්වා දුන්නේය. එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා ප්‍රකාශ සිටියේය.

    ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු විවෘත අධිකරණයේ කියා සිටියා.

    දෙසැම්බර් 06 වැනිදා------------------

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග, සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද පෙ.ව 10.30ට තෙවැනි දිනටත් විභාග කෙරිණ.

    අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූල ආකාරයට සිදුකර ඇති බවයි. ආණ්ඩුකම ව්‍යවස්ථාවෙ සිංහල පිටපතෙහි 62 (2) වගන්තිය ප්‍රකාරව යම් පාර්ලිමේන්තුවක් තේරී පත්වූ දින සිට එහි කාල සීමාව අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් ලබාදී තිබෙන බව මෙහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 8 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කලේය.

    දෙසැම්බර් 07 වැනිදා--------------

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම දෙසැම්බ්ර් 07 වැනිදා අවසන් කල සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය. ජනධිපතිගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තීන්දුව ලබා දෙන දිනය තෙක් බලපැවැත්වෙන පරිදි දිර්ග කිරිමට නියෝග කලේය. පුරා දින හතරක් පුරා පැවති විභාගය අවසන් කිරීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

    මෙදින පෙත්සම්කරුවන් වෙනුවෙන් ප්‍රතිඋත්තර ප්‍රකාශ කිරීම ආරම්භ කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා කරුණු ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට සිවිල් හා අපරාධ නඩුවලින් නිදහස්ව සිටීම සදහා මුක්තියක් හිමිවී තිබුණද එම මුක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුලින් යම් සීමා කිරීමකට ලක් කර ඇති බව ඔහු අවධාරනය කලේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ විධායක සහ පරිපාලන ක්‍රියා වලට එරෙහිව මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරීමට ප්‍රතිපාදන සලසා ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා ඒ යටතේ ජනාධිපතිවරයාගේ නිල කටයුතු අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට හැකි බව කියා සිටියේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ද ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් බැවින් ඒ පිළිබඳව ද මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදන යටතේ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට හැකියාව තිබෙන බව ද ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා අවධාරණය කරනු ලැබුවේය.
    පෙත්සම්කාර පාර්ශවයේ සිසු නීතිඥවරුද මෙම කරුණු අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළහ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ 1978 වසරෙන් පසුව පත්වූ එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 (2 ) වගන්තිය යටතේ බවයි. ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය තුළ අන්තර්ගතව තිබෙන බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

    අතරමැදි පෙත්සම්කරුවකු වන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපති වරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභා කළ යුතු බවයි. පෙත්සම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත් එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

    අතරමැදි පෙත්සම්කරුවකු වන ජගත් වැල්ලවත්ත යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(c)) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් හිමි වී තිබෙන බව පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම විසුරුවා හැරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි ජනාධිපති නීතිඥ ශබ්රි මහතා පෙන්වා දුන්නේ. අග්‍රාමාත්‍යවරයා විධායක බලතල තමන් සතුව ඇතැයි සිතා කටයුතු කිරීම නිසාත් ජනාධිපතිවරයා විධායක බලය අතහැරදමා කටයුතු කිරීම නිසාත් ඇති වූ අර්බුදය අද අධිකරණය දක්වා පැමිණ ඇති බවද ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. මෙය ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එය ජනතාව හමුවට ගොස් විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවයි කියා සිටියේය.

    අතරමැදි පෙස්සම්කරුවකු වන ආචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33( 2)c වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය විවාදයකින් තොරව පිළිගත යුතු බව සදහන් කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු වී නොමැති බවත් මේ හේතුවෙන් අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ගාමිණී මාරපන අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේණ.

    Last modified on සිකුරාදා, 14 දෙසැම්බර් 2018 08:28

    Latest News