ජනපති - ඕස්ට්‍රේලියානු අගමැති සමග සංවේගය බෙදා ගනී

ජන 07, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා සමග අද (07) දුරකථනයෙන් අමතා එරට දැන් හටගෙන ඇති ඉතිහාසයේ දරුණු ලැව් ගිනි විපතෙන් සිදුව ඇති විනාශය ගැන සංවේගය පළ කළේය.

    ජනාධිපති රාජපක්ෂ මහතා නෑ හිතවතුන් අහිමි වූ පවුල් වෙත සිය බලවත් ශෝකය පළ කළේය. 2004 සුනාමිය සහ වරින් වර ඇති වන ගංවතුර ඇතුළු ස්වභාවික විපත්වලට මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඕස්ට්‍රේලියානු ජනයා මේ මොහොතේ විදින වේදනාව මනාව තේරුම් ගැනීමට හැකි බව ජනාධිපතිතුමා කීය.
    මේ ආපදාපන්න අවස්ථාවේ ඕස්ට්‍රේලියානු ජනයා සඳහා ශ්‍රී ලංකාව තේ පරිත්‍යාගයක් කරන බව ද ජනාධිපතිතුමා පැවසිය.

    සෑම වසරකම මෙම කාල වකවානුවේදි ලැව් ගිනි හට ගැනීම ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය සංසිද්ධියකි. මෙවර හටගෙන ඇති ලැව් ගිනි පෙර නොවූ විරු තරම් බියකරු සහ විනාශකාරී වී ඇත. ඊට ගොදුරු වූ තිස් දෙනෙකුට වැඩි ඕස්ට්‍රේලියානුවන් දැනටමත් ජීවිතක්ෂයට පත්ව තිබේ. සහන සේවකයෝ ද ඔවුන් අතර වෙති. වන සතුන් අතර මරණ සංඛ්‍යාව පනස් ලක්ෂයක් පමණ වෙතැයි ගණන් බලා තිබුණ ද එය ඊට බෙහෙවින් වැඩිවිය හැකි බව විශ්වාස කෙරේ. ජනවාරි සහා පෙබරවාරි උණුසුම් සමයක් වන බැවින් ලැව් ගිනි තවත් උග්‍රවනු ඇතැයි බියක් පවතී. ඕස්ට්‍රේලියාවේ සියලු ප්‍රන්තවලට විපත බලපා ඇතත් වැඩිම විනාශය සිදුව ඇත්තේ නිව් සවුත් වේල්සයටයි. වනාන්තර ගිනි ගැනීමෙන් පහළ අවකාශයේ වායුව බෙහෙවින් දූෂණය වී ඇත.

    Latest News