උද්ඝෝෂණයට ආ විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලුවලට ඇමති බන්දුලගෙන් විසඳුම් (වීඩියෝ)

ජන 07, 2020
  • කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද පැවැත්වීමට ගිය උද්ඝෝෂණය පසුව නවතා දැමුණා.

    ඒ බන්දුල ගුණවර්ධන මහතා ඔවුන් සමඟ පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුවයි. උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම වූයේ උසස් පෙළ හදාරා සෞන්දර්ය විශ්ව විද්‍යාලය වෙත එන සිසුන් සඳහා පවත්වන ලද ප්‍රායෝගික පරීක්‍ෂණය යළි එලෙසින්ම පැවැත්විය යුතු බවයි.

    එහිදී අදහස් දැක්වූ පූජ්‍ය රත්කට්ටුවේ ජිනරතන හිමි....

    “මීට කලිනුත් අපි ඇවිල්ලා මේ ප්‍රායෝගික පරීක්‍ෂණය පැවැත්වීම සහ යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීම අත්හිටුවන්න ගත්ත තීරණය වහාම අකුලගන්න කියලා බලපෑම් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් කරමින් අරගලයක නිරත වෙලා හිටියේ. ප්‍රායෝගික පරීක්‍ෂණ අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි, යෝග්‍යතා පරික්ෂණ පැවැත්විය යුතුයි. ඒ ගත්ත තීරණය අකුලගන්නකම් මේ අරගලය අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙනවා“ යැයි පූජ්‍ය රත්කට්ටුවේ ජිනරතන හිමියෝ පැවසූහ.

    විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් මෙවැනි ඉල්ලීම් දිනාගැනීම සඳහා අරගල කළ විට මීට පෙර බොහෝ අවස්ථාවන්හිදී ඊට පිළිතුරු ලැබුණේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලින්. එහෙත් බන්දුල ගුණවර්ධන මහතා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ශිෂ්‍ය ගැටලු කෙරෙහි නම්‍යශිලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඉල්ලීම් වෙනුවෙන් සාධාරණ විසඳුම් ලබාදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද උද්ඝෝෂණයට පැමිණි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් අංශ සමඟ අදාළ කරුණ පිළිබඳ පුළුල් සාකච්ජාවක් පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.....

    “ශිෂ්‍ය සංවිධානවලින් එන්න කලින් මම අමාත්‍යාංශයට පැමිණෙන විට විශාල පොලිස් හමුදාවක් සුපුරුදු ලෙස වෝට් පෙදෙසට පැමිණිලා හිටියා. ඒ වනවිට අපිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිසි බලධාරිතුමා දන්වලා තිබුණා. ඔවුන්ගේ ප්‍රශ්නයක් පිළිබඳ ප්‍රා යෝගික පරික්ෂණ පැවැත්වීම පිළිබඳ ගැටලුවකට දැන් දීර්ඝ කාලයක ඉඳන් අරගල කරනවා, උද්ඝෝෂණ කරනවා, කදුළු ගෑස් ගහනවා, වතුර විඳිනවා, මේ සංස්කෘතියනේ තිබුණේ. මේ සියලු උසස් නිලධාරින් ගෙන්නලා, ශිෂ්‍ය නියෝජිතයින්, අන්තරේ හා අනෙක් අය සමඟ සාකච්ජා කරලා තාවකාලික වශයෙන් මේ තිබුණ තත්වය අනුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පමණක් විශේෂිත වන පරිද්දෙන් ශිෂ්‍යයන් බඳවා ගැනීමේ දී අපොස උසස් පෙළ ඉසෙඩ්කෝ ප්‍රතිඵලයට අතිරේකව පැවැත්වෙන ප්‍රා යෝගික පරික්ෂණය පවත්වාගෙන යාම අඛණ්ඩව කරගෙන යන්න කියලා ඉඩ දුන්නා ශිෂ්‍යයන්ගේ ඉල්ලීම මත. දැන් මේ අර්බුදයකින් තොරව සෞන්දර්ය විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම සඳහා ඒ ප්‍රයෝගික පරික්ෂණය පවත්වන්න ඉඩ දීලා තියෙනවා“ යැයි අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 20:34

    Latest News