නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පාරිසරික සහ ජනතා ගැටලු ජනපති අවධානයට

ජන 17, 2020

    නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රීතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වෙයි. 

    තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරිත්ව සිදුවිය යුතු බව ජනාධිපතිතුමා පැවසිය.

    අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකතුමන්ලා, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමග අද (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

    ව්‍යාපෘතිය ඇරඹිමේ දී එකග වු පරිසර නියමයන් පසුගිය වකවානුවේදී නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදුව ඇති හානිය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ. ව්‍යාපෘතිය භාර සමාගම් සහ බලධාරින් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් දෙන බව ජනාධිපතිතුමා එහිදි කියා සිටියේය.

    නොරොච්චෝලේ දැනට ක්‍රියාත්මක අදියර තුනෙන් මෙගා වොට් 900ක විදුලියක් ජනනය කෙරේ. එහි සිව්වන අදියර පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නොමැත. රටේ වේගවත් සංවර්ධනයකට බලශක්තිය තීරණාත්මක සාධකයකි.

    විකල්ප බලශක්ති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිළි කළේය. විකල්ප බලශක්ති අවම වියදමකින් උත්පාදනය කළ යුතු බවත් ඒවා පරිසර සහ ජනතා හිතකාමී විය යුතු බවත් ජනාධිපතිතුම පෙන්වා දුන්නේය. නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු විමර්ශනයට විදුලිබල අමාත්‍යවරයා, අදාළ ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් යොමු කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    තමා ද බලාගාරය නිරික්ෂණයට ජනාධිපතිතුමාත් පැමිණෙන බව එම අවස්ථාවේ සඳහන් කළේය. ආගමික නායකයන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණයට පියවර ගන්නා බව ඔහු කියා සිටියේය. වසර 2030 වන විට රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 80% පුනර්ජනනීය මූලාශ්‍ර වලින් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. පසුවිපරම අධ්‍යයන අඛණ්ඩව කරන ලෙස උපදෙස් දී ඇත.

    slpresidentgo1 px 900 20 01

    සංවර්ධන ක්‍රියාදාමයේ දි දූෂණය සහ අක්‍රමිකතා පිටුදකිමින් විශාල අරගලයක නිරතවීමට ජනාධිපතිතුමාට සිදුව ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන්හ. විදෙස් ආයෝජන මත කළ ව්‍යපෘතිවලදී පසුගිය සමයේ සිදුවු අක්‍රමිකතා පිළිබඳව උන්වහන්සේ කණගාටුව පළ කළහ.

     

    Latest News