එප්පාවල, පීඩාවට පත්ව සිටි ගම්වාසීන්ට අමාත්‍ය දුමින්ද ගෙන් විසඳුම්

ජන 04, 2020

    වැසි සමයේදී තම නිවාස අවට ජලය රැදීමෙන් එප්පාවල යෝධඇළ ගම්මානයේ ජනතාව දීර්ඝ කාලයක සිට විඳි පීඩාවට විසදුම් ලබා දීමට තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (03) පස්වරුවේ කටයුතු කළේය.

    එප්පාවල නගරයේ, පැ⁣රණි යෝධ ඇළ ආශ්‍රිතව පවුල් 100 කට වැඩි සංඛ්‍යාවක් පදිංචිව සිටින අතර එය පහත් බිමක් බැවින් වර්ෂා සමයේදී නිවාස අවට ජලය රැඳීමෙන් ගම්වාසීන් දැඩි පීඩාවකට පත්වේ. වැසි ජලය පැරණි යෝධ ඇළ තුළ රැඳී පැවතීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇතැයි ගම්වාසීහු පවසති.

    ගම්වාසීන් මේ පිළිබදව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබදව සොයා බැලීමට මහවැලි නිළධාරීන් හා පුරාවිද්‍යා නිළධාරීන් ඇතුළු පිරිසක් අදාළ ස්ථානය පරික්ෂා කළහ.

    වැසි සමයේදී පැරණි යෝධ ඇළ තුළ වර්ෂා ජලය රැඳි පැවතීම හේතුවෙන් දීර්ඝ කාලයක සිට තමන් පීඩාවට පත්ව සිටින බව ගම්වාසීන් කියා සිටී. අධික වැසි සහිත කාලවලදී ගම්මානයේ නිවාස හා නිවාස සඳහා පවතින පිවිසුම් මාර්ගයන්ද ජලයෙන් යටවන බවත්, ඒ සඳහා විසදුම් ලෙස පවතින යෝධ ඇළ හරහා වැසි ජලය ගලා යන ලෙස කානුවක් කපා දීම⁣ට අවශ්‍යය කටයුතු කර දෙන්නැයි ගම්වාසීහු අමාත්‍යයවරයාගෙන් ඉල්ලා සිටියහ. ජලය දීර්ඝ කාලයක් නිවාස අවට රැඳී පැවතීම හේතුවෙන් මැසි මදුරු උවදුරුද පවතින බව ඔවුන් පෙන්වා දුන්හ.

    අමාත්‍යයවරයා එහිදී පුරාවිද්‍යා නිළධාරීන්ගෙන් විමසා සිටියේ පැරණි යෝධ ඇළ පෞරාණික උරුමයක් වන බැවින්, කානු පද්ධතියක් යෝධ ඇළ හරහා කැපීම සඳහා අනුමැතියක් ලබා දිය හැකිද යන්නයි. එවිට එම නිළධාරීන් කියා සිටියේ ජලය ගලා යන ලෙස කුඩා කාණු පද්ධතියක් ඉදි කිරීමේ ගැටලුවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය අවසර ලබා ගත හැකි බවයි.

    ඒ අනුව අමාත්‍යයවරයා මහවැලි නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේ යෝධ ඇළ ගම්මානයේ නිවාස අවට රැඳි ජලය ගලා යන ලෙස කාණු පද්ධතියක් සකස් කිරීමටත්, නිවාස සඳහා පවතින පිවිසුම් මාර්ග සඳහා බෝක්කු ඉදි කි⁣රීමටත් අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා අවසරයන් ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා විශය භාර අමාත්‍යයවරුන් හරහා ලබා දීම⁣⁣ට කටයුතු කරන බවද අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.⁣

    මෙම අවස්ථාවට පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩී. එම්. පියතලක බණ්ඩා, පුරාවිද්‍යා ප්‍රදේශීය ගවේශණ නිළධාරී ජයන්ත විජේවර්ධන යන නිළධාරීන් හා මහවැලි අධිකාරියේ නිළධාරීන් ඇතුළු නිළධාරීන් හා ගම්වාසීන් පිරිසක් එක්ව සිටියහ.

    Latest News