103MWක මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් නිරීක්ෂණයට

ඔක් 02, 2020

    ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 103 ක ධාරිතාවක් එක් කිරීමට නියමිත මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ලක්වේ.

    විදුලි පාරිභෝගිකයා, සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු බවට පත් කරන සැලැස්මක් ඉදිරි අය-වැයේදී අතිගරු ජනාධිපතිතුමන් ඉදිරිපත් කරනු ඇතැයි විදුලි බල අමාත්‍යය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, නොරොච්චෝලයෙ ප්‍රදේශයේ ඉදි වන සුලං විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 103 ක ධාරිතාවක් එක් කිරීමට නියමිත මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට විදුලි බල අමාත්‍යය ඩලස් අලහප්පෙරුම, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගිය දා (30) පස්වරුවේ කටයුතු කළහ.

    මෙරට විදුලි බල පද්ධතියට මෙගා වොට් 103 ක් එක් කිරීමේ අරමුණින් මන්නාරම ප්‍රදේශයේ මෙම සුලං විදුලි බලාගාරය ඉදි කෙරෙමින් පවතියි. මෙරට තුළ පුද්ගලික අංශය මගින් සුළං විදුලි නිෂ්පාදනය සිදු කළ ද, ලංකා විදුලි බල මණ්ඩලයට අයිති වන පළමු සුලං බලාගාරය මන්නරාම සුළං විදුලි බලාගාරයයි. කිලෝ මීටර 12.5 ක් පුරා සුලං විදුලි බලාගාරයේ සුලං පෙති 33 ක් මන්නාරම වෙරළ තීරයේ සවි කිරීමට නියමිත අතර, එයින් 30 ක් පමණ මේ වන විට සවි කර අවසන් වී ඇත. එම 30 මගින් මෙගා වොට් 103.5 ක් නිෂ්පාදනය කළ හැකිය.

    මෙම සුළං බලාගාරයේ පවතින කුළුණක සවි කර ඇති සුළං තලයක (පෙත්තක) දිග මීටර 62 ක් පමණ වන අතර, එම සියලු කොටස් ත්‍රිකුණාමල වරාය වෙත ගෙනැවිත් ඒවා ඉන්දියාවෙන් ගෙන්වූ විශේෂිත වූ ප්‍රවාහන වාහනවලින් මන්නාරම වෙත ගෙනැවිත් සවි කර ඇත. මෙම එක් කුළුණක් මීටර 25 ක් ගැඹුරේ සිට ශක්තිමත් පාදමකින් ඉදි කර ඇත.

    අවුරුද්දකට අඩු කාළයකින් ඉදි කළ මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 135 ක් පමණ වැය කර ඇති අතර, අනෙකුත් බලාගාරවලින් සිදු වන පාරිසරික හානි කිසිවක් සිදු නොවී රුපියල් 08 ක් වැනි ඉතා සුළු මුදලකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව මන්නාරම සුළං බලාගාරයට හැකියාව පවතියි. නිරත දිග හා ඊසාන දිග මෝසම යන දෙකේදීම හොදින් සුළං ලැබෙන ප්‍රදේශය මන්නාරම නිසාවෙන් මන්නාරමේ මෙම සුළං බලාගාරය ඉදි කිරීම ආරම්භ කර ඇත.

    පක්ෂීන් ගැන අධ්‍යනයක් කර, රේඩාර් පද්ධතියක් සවි කර ඇති අතර, කුරුළු රංචු මෙරටට පැමිණෙන විට හා පිටවන විට මෙම සුළං පෙති එකවර නවතා දැමීමේ හැකියාව පවතියි.

    එහිදී අදහස් දැක් වූ විදුලි බල අමාත්‍යය ඩලස් අලහප්පෙරුම මහතා,

    “ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුළං විදුලි බලාගාරය මන්නාරමේ ඉදි වෙනවා, විශේෂයෙන් සුළං බලය, සූර්ය බලය මෙරට විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රධාන විභවයන් ලෙස උපයෝගී කර ගැනීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනයේ තියෙන මූලික අරමුණක්. ඒ අනුව එතුමා ජාතියට, රටට, රටේ පුරවැසියන්ට, දේශපාලඥයින්ට ඉලක්කයක් දීලා තියෙනවා. අපිටත් ඉලක්කයක් දීලා තියෙනවා 2030 වන විට මෙරට සමස්ථ විදුලි ජනනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මත රැදෙන්න ඕන කියලා. අපි මේ ඉලක්කය හඹා යමින් සිටිනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ මන්නාරමේ ඉදි වෙන අපේම වූ මේ මහා පරිමාණ සුළං බලාගාරය ඒ ගමනේ හැරවුම් ලක්ෂයක් විදිහට අපි හිතනවා. 1950 දශකයේ තමයි අපේ රටට මහා පරිමාණ ජල විදුලි බලාගාරයක් දායාද වුණේ, මීට අවුරුදු 70 කට පෙර, එය විදුලි බල ක්ෂ්‍රේත්‍රයේ පරිවර්ථනීය සටහනක් බවට පත් වුණා. 1912 ගෑස්වලින් කොළඹ නගරය ආලෝකමත් වුණේ සුදු අධිරාජ්‍යයවාදීන්ගෙන් කාලේ, ඊට පස්සේ 1950දී පැරණි ලක්ෂපාන බලාගාරය ඉදි වෙලා ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය රටට දායාද වුණා, ඉන් අවුරුදු 70 කට පස්සේ මේ බලාගාරය ජාතියට තවත් හැරවුම් ලක්ෂයට මගක් පෙන්නලා දෙනවා. අතිශය විශාල හුළං කපොල්ලක අපි ඉන්නේ. මන්නාරමෙන් හමා එන සුළඟ ජාතියට විශාල පුනර්ජීවනය පිළිබඳ පණිවිඩය මතක් කරන්නේ. මෙතනින් මෙගාවොට් 103 ක බලයක් ජාතික පද්ධතියට එකතු කරනවා. ශිෂ්ඨාචාරයක් යටපත් කරලා කෝටි සංඛ්‍යාත මුදල් වැය කරලා එදා බලාගාර ඉදි කළා, එහෙම ශිෂ්ඨාචාරයක් නැති නොකර, පරිසරයට බිඳකදු හානියක් නොකර පරිසරය හා ආර්ථිකය රැක ගෙන මෙම බලාගාරය ඉදි කරලා තියෙනවා. අපේ ආර්ථිකයම දහනය වෙන්‌නේ ඩීසල්වලින්, ඒ ආර්ථිකයත් රැකගෙන, ජනජීවිතවලට කිසිදු බාධාවක් ඇති නොවන ලෙස මෙම බලාගාරය ඉදි කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔක්තොම්බර් මාසයේ අගභාගය වන විට මෙහි පළමු පියවර ජාතියට නිදහස් කරන්නට.

    මෙහි විදුලි ඒකකයක් නිෂ්පාදන පිරිවැය රුපියල් 08 ක් වෙනවා, ඒකට සම්ප්‍රේෂණ පද්ධතියට රුපියල් 03 ක් එකතු කළත්, උපරිම රුපියල් 12 ක් පමණ වෙයි. දැනට විදුලි බල මණ්ඩලය දරණ වියදම එක ඒකකයට රුපියල් 23 කට ආසන්න වෙනවා. ඩීසල්වලින් බැලුවොත් ඒක රුපියල් 30 කට ආසන්න වෙනවා. ඒකයි මම කිව්‌වේ අපේ ආර්ථිකය දහනය වෙන්නේ ඩීසල්වලින් කියලා. 2030 වන විට පුනර්ජනනීය බලශක්තියට මේ රට හුරු වූ පසු ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය ඉතාම අවම වෙයි. 365 දවසේ පැය 24 පුරා නිකං ලැබෙන සුළගින් විදුලිය නිෂ්පාදනය කෙතරම් වටිනවාද? මේ මුළු රටේම, ජාතියේම පුනර්ජනනය වීමක්.

    2014 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විදුලි බිල 25% ක් අඩු කළා, ඒ නොරොච්චෝලේ බලාගාරය ජාතියට දායද කරන වෙලාවේදී, මන්නාරමේ මේ මෙගා වොට් 100 නිසා අපිට විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා අපි කියන්නේ නෑ. නමුත් අතිගරු ජනාධිපතිතුමන් අපිට උපදෙස් දීලා තියෙනවා. අයවැය පාදක කර ගන්න මේ විදුලි බිල දරා ගන්න බෑනේ. අම්මාට ගේ ඇතුලේ දරා ගන්න බැරි බිල් කීපයක් තියෙනවා. ටියුෂන් බිල වගේ විදුලි බිලත් දරා ගන්න බැරි බිලක්. ඒකක 30 ක් පාවිච්චි නොකර නිවෙස් කියන්නේ ෆෑන් ඒකක්වත් පාවිච්චි වෙන්නේ නෑ කියන එක, ඒ අය දුක් විඳගෙන ඉන්නේ. ඒ අයට යම් සහනයක් දෙන එක හා ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සූර්ය බලයෙන් විදුලිය ජනනය කිරීම කියන කාරණයෙන් ඒ ජනතාවට ආදායමක් ලැබෙන ලෙස, ඒ අය නිෂ්පාදකයෙක් බවට පත් කිරීමේ සැලැස්මක් අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ පළමු අයවැයෙන් නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

    සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ,

    “විශේෂයෙන්ම අපි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ස්තූතිවන්ත වෙනවා, ඉතිහාසයේ අපි තමයි පුනර්ජනනීය බලශක්තිය මගින් රටක් ස්වයංපෝෂිතව විදුලිය නිෂ්පාදනය කර ගත්ත රටක්. අපි පහුගිය කාලයේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවට ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමන් තීන්දුවක් අරගෙන තියෙනවා 2030 වන විට 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට, ඒ සඳහා වෙනම අමාත්‍යංශයක් පිහිටුවලා මට වගකීම පවරලා තියෙනවා. ඒ ඉලක්කය කරා යාමේ පළමු අදියර ලෙස ඉතාම නුදුරේදීම පද්ධතියට එක් කරනන මේ සුළං බලාගාරයට හැකියාව තියෙනවා.

    මන්නාරම මේ ස්ථානයේම තවත් මෙගා වොට් 300 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමටත්, පූනරීන් ප්‍රදේශයේ සුළං බලාගාරයක් ඉදි කර මෙගා වොට් 400 ක ප්‍රමාණයකුත් , සූර්ය බලයෙනුත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සබරගමු පළාතේ තවත් මෙගාවොට් 100 ක් සූර්ය බලයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉදිරි කාළය වන විට මෙම කළාපය පුනර්ජනනීය බලශක්තියේ කේන්ද්‍රස්ථානයක් වෙයි. ඉන්දියාවට ඉතාම නුදුරුයි මන්නාරම. අපි ඉතිහාසයේ සිටම ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීම, ඉන්දියාවට විදුලිය ලබා දීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කරලා තියෙනවා. අපිට පුනර්ජනනීය බලශක්තිය වැඩි කර ගැනීමත් එක්ක අපිට හැකියාව තියෙනවා ඉන්දියාවට විදුලිය ලබා දෙන්න. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සාකච්ජා කරනවා.

    මෙම සුලං බලාගාරයේදී පරිසරය භාවිතය ඉතාම අල්පයි, හැබැයි අපි මෙය මුහුදේ සවි කලොත් පරිසර හානියත් ඉතාම අඩුයි, භූමිය එක අඟලක්වත් භාවිතා වෙන්නේ නෑ, එවැනි ක්‍රම හරහා පුනර්ජනනීය බලශක්තියේ දැවැන්තයා බවට පත් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා යන වියදම වගේම කාබන්ඩයොක්සයිඩ් පරිසරයට එකතු කරනවා. මෙවැනි ව්‍යාපෘතිය තුළින් ඒ පරිසර හානිය සිදු වන්නේ නෑ. මෙම ව්‍යාපෘතිය මගින් පරිසරය සුවපත් කිරීමත් සිදු කරනවා” යැයි එහිදී පැවසීය.

    Latest News