චීන - මාලදිවයින් ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

ජන 11, 2024
    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මාලදිවයින් ජනාධිපති Mohamed Muizzu මහතා සමඟ සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව ඊයේ  (10) පස්වරුවේ බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී පැවැත්විණ.
     
    නව වසර ආරම්භයේ දී චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති Mohamed Muizzu මහතා සාදරයෙන් පිළිගන්නා බව ෂී ජින් පිං මහතා පැවසීය. චීන-මාලදිවයින් මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමටත්, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ හා බැඳුණු සහයෝගිතාව වර්ධනයටත් තමා කැපවී සිටින බව හෙතෙම කියාසිටියේය. මාලදිවයින් ජනාධිපතිවරයා මේ වසරේ තමා හමු වූ පළමු විදේශ රාජ්‍ය නායකයා බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.
     
    Mohamed Muizzu මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නිරත වන පළමු විදේශ සංචාරය ද මෙය වන අතර, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා දෙරට යොමුකරන පුළුල් අවධානය මින් මනාව පිළිබිඹු වන බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.
     
    වසර 52 කට පෙර චීනය සහ මාලදිවයින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගත් දා සිට දෙරට සෑමවිටම එකිනෙකාට ගරු කරමින් සහයෝගය ලබා දී තිබේ. එකිනෙකාට සමානව සැලකීම, උපකාර කිරීම, අන්‍යෝන්‍ය යහපත සහ  පොදු ජයග්‍රහණ අතින් දෙරට වෙනත් රටවලට ආදර්ශයක් ද සපයා ඇත.
     
    නව යුගයේ චීන-මාලදිවයින් සබඳතා නව තලයකට රැගෙන යාම සඳහා නව සැලසුම් සකස් කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතාවන් හි වර්ධනයට මාලදිවයින් ජනාධිපතිවරයා සමඟ එක්ව ක්‍රියා කිරීමට තමා සූදානම් බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    මාලදිවයිනේ ආර්ථික සහ සමාජයීය සංවර්ධනය සඳහා චීනය වටිනා ආධාර ලබා දී ඇති බව ජනාධිපති Mohamed Muizzu මහතා පැවසීය. දෙරට අතර සහයෝගිතාව මෙන්ම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ඒකාබද්ධ ඉදිකිරීම් මාලදිවයිනේ ජනතාවට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වී තිබේ. පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගිතාව සඳහා නව මාර්ග පුළුල් කරමින් මාලදිවයින්-චීන සබඳතාවල නව වර්ධනයක් උදෙසා ක්‍රියා කිරීමටත්, දෙරට ජනතාවට සුබසෙත සැලසීමටත් මාලදිවයින අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.

    Latest News