අවාසනාවක් ඇත්ත කතාවක්

දෙසැ 17, 2023

    ගාසා තීරයේදී සිය හමුදාව අතින් මරුමුවට පත් ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් තිදෙනා ඝාතනයට ලක්වන අවස්ථාවේදී සුදු කොඩියක් අතැතිව සිටි බව, ඊශ්‍රායල හමුදා නිලධාරියෙකු කියා සිටිනවා.

    ඔවුන්ට අත්වු මෙම ඉරණම සිය නීතිවලට පටහැනි වන අතර, මේ වන විට ඒ සම්බන්ධයෙන් ඉහළම මට්ටමේ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කරනවා.         

    උතුරු ගාසා තීරයේ "ෂෙජායියා"  හිදී ඊශ්‍රායල හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර මෙම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනා ඝාතනයට ලක්ව තිබුණේ   ඉකුත් සිකුරාදා දිනයි.

    ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  හමාස් සටන්කාමීන් ලෙසට වැරදි ලෙස හඳුනාගැනීම නිසා මෙම ප්‍රාණ ඇපකරුවන් තිදෙනාට වෙඩි තැබූ බවයි. 

    එම හමුදාව අදාළ මරණ පිළිබඳව සිය කණස්සල්ල පළ කර තිබෙනවා.   මෙලෙස මරණයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි යොතෑම් හැමින්,  විසි දෙහැවිරිදි සමීර් තලාකා, සහ විසි හය හැවිරිදි හැලෝන් ෂාම්රීස්    යන තිදෙනෙකු බවට තහවුරු කරගෙන තිබෙනවා. 

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඊශ්‍රායල හමුදාව වෙඩි තබන අවස්ථාවේ ඔවුන් සුදු කොඩියක් අතැතිව සිටි බවට එරට හමුදා නිලධාරියෙකු විසින් සිදුකරන ප්‍රකාශය, මෙම සිද්ධිය දැඩි ආන්දෝලනයකට ලක්කර ඇති බවයි.

    එමෙන්ම හමාස් සංවිධානය ගාසා තීරයේ තවමත් රඳවාගෙන සිටින 120කට අධික ප්‍රාණ ඇපකරුවන් පිරිස නිදහස් කිරීම සඳහා ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරින් වෙත එල්ලවී ඇති පීඩනය තවදුරටත් තීවුර කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.  

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ සිය හමුදාව යුද මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි.   ප්‍රාණ ඇපකරුවන් යළි මව් භූමිය වෙත රැගෙන ඒමට සහ යුද ජයග්‍රහණය සඳහා කැපවී ක්‍රියා කරන බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.  

    Latest News