වැග්නර් කුලී හමුදා කැරැල්ල පසුබසී

ජූනි 25, 2023

    රුසියාවට එරෙහිව එරට වැග්නර් කුලී හමුදාව ආරම්භ කළ කැරැල්ල පසුබැස තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වැග්නර් නායක යෙවුගනී ප්‍රිගොශින් සිය හමුදාව යළි කැඳවා ඇති බවයි.

    රොස්ටොව් සිට මොස්කව් බලා ගමන්කරමින් සිට වැග්නර් හමුදාව ගමානනාතයට කිලෝමීටර් 200ක් පමණ ඉතිරිව තිබියදී ආපසු හැරී තිබෙනවා. ‍ ඔවුන් යළි යුක්‍රේනයේ පිහිටි සිය කඳවුරු වෙත ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වුවද යළි යුක්‍රේනය බලා ගිය වැග්නර් හමුදාවට රොස්ටොව් නගර වැසියන්ගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවීම විශේෂත්වයක්. වැග්නර් හමුදාව රුසියාවෙන් පිටවයාමට තීරණය කර ඇත්තේ බෙලරූස් නායක ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝගේ මැදිහත්වීම මතයි.

    මෙම පසුබැස යාම වෙනුවෙන් වැග්නර් ප්‍රධානියා බෙලරූස් ජනාධිපතිවරයා සමග එළැඹි එකඟතා මොනවාදැයි මෙතෙක් හෙළිකර නැහැ. කැරුළ්ලට සම්බන්ධවූ වැග්නර් හමුදාවට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනුනොකරන අතර රුසියානු පාලන තන්ත්‍රයේද කිසිදු වෙනසක් සිදුනොවන බවයි, එරට බලධාරින් පවසා ඇත්තේ.

    කෙ‍සේ වුවද, ජනාධිපති පුටින් ඊයේ ප්‍රකාශ කළේ වැග්නර් හමුදාවේ ද්‍රෝහී ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවයි.

    මොස්කව් නගරයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇති අතර ජනතාවට අත්‍යවශ්‍ය හේතුවකට හැර නිවසින් බැහැරව නොයන ලෙසටත් සියලු එළිමහන් උත්සව ජුලි පළමුවැනිදා තෙක් අවලංගු කිරීමටත් බලධාරින් තීරණය කර තිබෙනවා.

    Latest News