යුක්‍රේනයේ සැපුරීෂියා න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල්වෙඩි ප්‍රහාර කිහිපයක්

අගෝ 12, 2022

    යුක්‍රේනයේ සැපුරීෂියා න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල්වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනය සහ රුසියාව එකිනෙකාට චෝදනා කරමින් සිටින බවයි.
    මෙය ඉතා බරපතල සිදුවීමක් බව ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කිරීමට කැඳවා තිබූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදී න්‍යෂ්ටික නිරීක්ෂණය කිරීමේ ප්‍රධානි රෆායල් ග්‍රෝසි අනතුරු අඟවමින් කියා සිටියා. ඔහු ඉල්ලා සිටියේ, චීනයට සහ එක්සත් ජනපද විශේෂඥයින්ට බලාගාරය නිරීක්ෂණය සඳහා එහි පැමිණීමට ඉඩ දෙන ලෙසයි. කෙසේ වුවද, රුසියාව ඊට තවමත් අවසර දී නැහැ. රුසියානු එක්සත් ජාතීන්ගේ නියෝජිතයා කියා සිටියේ, බලාගාර නිරීක්ෂණයට විදෙස් නිරීක්ෂකයින් යැවීම විකල්පයක් නොවන බවයි. එමගින් බලාගාරය තවත් ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු විය හැකි බව ඔහු පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් සඳහන් කළේ, බලාගාරය වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම ව්‍යසනයකට තුඩු දිය හැකි බවයි. යුක්‍රේනයේ සැපුරීෂියා නගරයට සහ අවට ප්‍රදේශ රැසකට ඉකුත් සතියේ සිට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. රුසියාව මෙන්ම යුක්‍රේනයද එම ප්‍රහාර සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිනවා. න්‍යෂ්ටික බලාගාරයට කුමණ පාර්ශවයකින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වන්නේද යන්න පිළිබඳව ජාත්‍යන්තර යුද විශ්ලෙශකයින් හෝ විදෙස් මාධ්‍යය තවමත් පැහැදිලි නිගමනයකට එළඹ නැහැ.

    Latest News