ප්‍රියන්ත ඝාතනය සම්බන්ධයෙන් පකිස්තානයේ පාර්ලිමේන්තු විවාදයක්

දෙසැ 15, 2021

    ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු විවාදයක් පැවැත්වීමට එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තීරණය කර තිබේ.

    විවාදය එළඹෙන 20 සහ 22 යන දිනවල එරට ජාතික සභාවේ සහ සෙනෙට් සභාවේ පැවැත්වෙන බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. පකිස්තානයේ සියල්කොට්හි දී ඔහු අමානුෂික ලෙස ඝාතනයට ලක් විය.

    පකිස්තානයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ලොවපුරා දැඩි අවධානය යොමු විය. මානව හිමිකම් පිළිබඳ ආයතන ද, ඒ සම්බන්ධ පුළුල් අවධානයක් යොමු කර තිබේ. සිද්ධිය පකිස්තාන කර්මාන්ත ක්‍ෂේත්‍රයට ද බලපෑම් එල්ල කර ඇත්තේ, ක්‍ෂේත්‍ර රැසක විදෙස් ශ්‍රමිකයන් එරටට යාම ප්‍රතික්‍ෂ්ප කරන නිසයි.

    ඝාතනය සම්බන්ධ පරීක්‍ෂණ මේ වන විටත්, පකිස්තාන රජය මැදිහත් වීමෙන් ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය බබාර් අවන් ප්‍රකාශ කළේ, ඉහළ සහ පහළ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම විවාදය පැවැත්වෙන බවයි.

    පංජාබ් පොලිස්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණවල ප්‍රගතිය ඉකුත් සඳුදා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත පැහැදිලි කළ බව, එරට මාධ්‍ය වාර්තාවල සඳහන්.

    ඉදිරියේ දී මෙවන් සිදුවීම් ඇති නොවීමටත්, වරදකරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවටත්. අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ. නවීන තාක්‍ෂණික ක්‍රමෝපායන් උපයෝගි කර ගනිමිනුයි, විමර්ශන සිදු කෙරෙන්නේ. කර්මාන්ත ශාලාවේ කැමරා 150 ක දර්ශන මේ වන විටත් අධිකරණ වෛද්‍ය රසායනාගාරයට යොමු කර ඇති බව, වාර්තා වෙයි.

    Latest News