අමෙරිකාව ප්‍රින්සස් නැවෙන් කොරෝනා ආසාදිතයින් ඉවත් කර ගනී

පෙබ 17, 2020

    කොරෝනා වෛරසය නොහොත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගැනීමත් සමග ජපානයේ යොකොහාමා වරායේ නිරෝධායන ක්‍රියාවලිය සිදු කෙරෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි තම ජාතිකයින් ඉන් ඉවත් කර ගැනීමට අමෙරිකාව කටයුතු කර තිබේ.

    ගුවන් යානා දෙකක් මගින් අදාළ පුද්ගලයින් නැවත සිය රට වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි, වාර්තා වන්නේ. ජපන් නෞකාවේ සිටි අමෙරිකානු ජාතිකයින් ගෙන්වා ගැනීම සදහා කුලී පදනම මත ලබා ගත් ගුවන් යානා දෙකක් ටෝකියෝහි හනෙඩා ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ. ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 3,700ක් පමණ ගමන් කර ඇති අතර, ඉන් 400ක් පමණ අමෙරිකානු ජාතිකයින්. ඉන් අමෙරිකානු පුරවැසියන් 40 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන අතර, ඔවුන් තවදුරටත් ජපානයේ ප්‍රතිකාර ලබනු ඇති.

    එසේම අදාළ නෞකාවෙන් තවත් වෛරස් ආසාදිතයින් 70ක් සොයා ගැනීමත් සමග සමස්ත සංඛ්‍යාව ඉහළ යන්නේ 355 දක්වායි. චීනයෙන් පිටත වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ ද ජපානයේ වන අතර එම සංඛ්‍යාව 414ක්. හොංකොං,තායිවාන්,ජපානය,පිලිපීනය හා ප්‍රංශය, චීනයෙන් පිටත මරණ වාර්තා වූ රාජ්‍යයන්. කෙසේ වෙතත්, වෛරසය සඳහා නිශ්චිත ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නැති නමුත්, ලොව පුරා රටවල් කිහිපයක පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක වෙයි.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 07:21

    Latest News