තවත් අමිහිරි පරාජයක්

නොවැ 09, 2018

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 211කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය.

    දඟ පන්දු යවන්නන්ට උචිත ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනූව, එංගලන්ත කණ්ඩයම සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 342ක් රැස්කර ගැනීමට හැකිවූයේ, සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ බෙන් ෆෝක්ස්ගේ විශිෂ්ට ලකුණු 107ක් සමඟිනි.

    ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම ඉණිමේ දී එංගලන්ත කණ්ඩායම ලබාදුන් ඉලක්කය ආසන්නයට හෝ පැමිණීමට නොහැකි වූ අතර ලකුණු 203කට සීමා විය.

    එහි දී ඇන්ජලෝ මැතිව්ස් පමණක් ලකුණු 50 සීමාව පසුකිරීමට සමත් විය. නැවතත් දෙවැනි ඉණිම ආරම්භ කළ එංගලන්තය කඩුලු 6කට ලකුණු 322ක් රැස්කර ගැනීමට සමත්වූයේ ආරම්භක පිතිකරු කේටන් ජෙනින්ස්ගේ අගනා ලකුණු 147ක් සමඟිනි.

    නැවතත් ඊයේ පස්වරුවේ දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම ආරම්භ කළේ ලකුණු 462ක ඉලක්කයක් සමගින්. එහෙත්, අද දිනයේ ලකුණු 250කට සියළුදෙනා දැවී ගියේය.

    ඇන්ජලෝ මැතිව්ස් 53යි, කුසල් මෙන්ඩිස් 45යි, දිල්රුවන් පෙරේරා 30, මොයින් අලී 71/04, ජැක් ලීච් 60/03 යි

    තරග 03 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1 - 0 ලෙසින් එංගලන්තය ඉදිරියෙන් සිටින අතර දෙවන තරගය 14 වැනිදා පල්ලේකැලේදි ආරම්භවිමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 09 නොවැම්බර් 2018 18:17

    Latest News