හෙට ශ්‍රී ලංකාවට අභියෝගාත්මක දිනයක්

නොවැ 08, 2018

    ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 15ක් ලබා සිටී. 

    ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 203කට අවසන් වීමෙන් පසු එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භ කළේය. ඒ, ලකුණු 139ක් ඉදිරියෙන් සිටිමින්. ඊයේ දිනය අවසන් වන විට එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී සිටිමට සමත්විය. අද දිනයේ දී එංගලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි බලපෑමක් එල්ල කරමින් ලකුණු රැස් කිරිමේ නිරත විය.

    එංගලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරු කේටන් ජෙනින්ස් නොදැවී ලකුණු 146ක් ලබාගැනිමට සමත්විය. ඔහුගේ විශිෂ්ට පිතිකරණය හමුවේ එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 322ක් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම අත්හිටුවමින්, ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 462ක ඉලක්කයක් ලබාදුන්නේය.

    තරගයේ සිව්වැනි දිනය හෙට වන අතර, අද දිනය අවසන් වනවිට කඩුල්ලේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන දිමුත් කරුණාරත්න සහ කෞෂල්‍ය සිල්වා පන්දුවට පහරදීම ආරම්භ කරනු ඇති. ඔවුන් දෙදෙනාටම ප්‍රථම ඉනිමේදී සාර්ථකව ලකුණු අතරට පිවිසිමට නොහැකි වූහ. දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 7ක් ද, කෞෂල්‍ය සිල්වා ලකුණු 8ක් ද වශයෙන් රැස් කරගෙන සිටී.

    Latest News