දෙපා ශක්තිවන්තයින්ගේ සටන ඇරඹේ

නොවැ 20, 2022

    ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර්හිදී අද ආරම්භ වනවා. මෙවර පැවැත්වෙන්නේ, 22 වැනි‍ ලෝක කුසලාන පාපන්දු තරගාවලියයි.

    වසර 92ක ඉතිහාසයක් ඇති ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වරට 2018 වසරේදී පැවැති ලෝක පාපන්දු කිරුළ ජයගත්තේ ප්‍රංශයයි.  ලොව පුරා සුපිරිතම රටවල් 32ක් සහභාගි වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වට‍යේ තරග පැවැත්වෙන්නේ කාණ්ඩ 8ක් යටතේයි.

    ඒ, කාණ්ඩයෙන් සත්කාරක කටාරය, ඉක්වදෝරය, නෙදර්ලන්තය සහ සෙනගල් යන කණ්ඩායම් තරග වදිනවා. එංගලන්තය, ඉරානය, ‍අමෙරිකාව සහ වේල්ස් බී කාණ්ඩයට ඇතුළත්. ප්‍රබල ආජන්ටිනාව, සෞදි අරාබිය, මෙක්සිකෝව සහ පෝලන්තය තරග වදින්නේ සී කාණ්ඩයෙන්. ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ ටියුනීසියාව ඩී කාණ්ඩයට ඇතුළත්.

    ඊ කාණ්ඩය යටතේ තරග වදින්නේ, ස්පාඤ්ඤය, කොස්ටරිකා, ජර්මනිය සහ ජපානයයි. බෙල්ජියම, කැනඩාව, මොරොක්කෝව සහ ක්‍රොඒෂියා යන කණ්ඩායම් එෆ් කාණ්ඩයෙන් තරග වදිනවා. බ්‍රසීලය, සර්වියාව, ස්විට්සර්ලන්තය සහ කැමරූන් ජී කාණ්ඩයට ඇතුළත්.

    පෘතුගාලය, ගානා, උරුගුවේ සහ දකුණු කොරියානු කණ්ඩායම් එච් කාණ්යෙන් තරග වැදීමට නියමිතයි. කටාරයේ නගර 5ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රීඩාංගණ 8කදී තරග පැවැත්වෙන අතර ක්‍රීඩා ලෝලීන් අසූ දහසකට වැඩිපිරිසකට එක්වර තරග නැරඹිය හැකි ලුසිල් ක්‍රීඩාංගණයේදී ලෝක කුසලාන පාපාන්දු තරගාවලියේ අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.                                                                  

    ප්‍රංශයේ කිලියන් එම්බාප්පේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී, බෙල්ජි‍යමේ කෙවින් ඩී ‍ඩෲනෙයි, බ්‍රිසීලයේ නෙයිමාර්, ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රික් සහ එංගලන්තයේ හැරී කේන් වැනි ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයින් හෙට සිට කටාරයේදී ‍ලෝක පාපන්දු කිරුළ වෙනුවෙන් සිය උපරිම දක්ෂතා දක්වනු ඇති. 

    තරගාවලිය ආරම්භ කරමින් කටාර් සහ ඉක්වදෝර් කණ්ඩායම් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 09.30ට  පැවැත්වෙනවා.  හෙට දිනයේදී තවත් තරග 03ක් පැවැත්වීමට නියමිතයි.  ඒ කාණ්ඩයෙන් සෙනගාල් සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය පැවැත්වෙනවා.  බී කාණ්ඩය යටතේ එංගලන්තය සහ ඉරානය අතර තරගයත්, අමෙරිකාව සහ වේල්සය අතර තරගයත් හෙට පැවත්වීමට නියමිතයි. 

    Latest News