LPL ශූරතාව දෙවන වරටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

දෙසැ 24, 2021

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවන වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ සමත්වුණා.

    ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම යළිත් වරක් අනුශූරයින් බවට පත් වුණා.

    හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගනිමින් තිසර පෙරේරා නායකත්වය දැරූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිය කිරුළ රැක ගැණීමට සමත්වුණා.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත්වුණා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 41කදී ලකුණු 63ක් රැස් කළා.

    ලකුණු 202ක ඉලක්කයක් හඹාගිය භානුක රාජපක්ෂ නායකත්වය දැරූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 178ක් පමණයි. වේගවත් ආරම්යක් ලබා දුන් ධනුෂ්ක ගුණතිලක පන්දු 21කදී වේගවත් ලකුණු 54ක් රැස් කරමින් ග්ලැඩියේටර් කණ්ඩායමට වාර්තාගත හඹා යාමක් සදහා බලාපොරොත්තු එක්කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 39කට දුවද්දී දැවී යාමත් සමග තරගයේ පාලනය ජැෆ්නා කිංස්ග් කණ්ඩායම යළි සියතට ගත්තා. පන්දු යැවීමේ දී වනිදු හසරංග හා චතුරංග ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

    අවසන් මහ තරගයේ වීරයා සහා තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු. මෙවර තරගාවලියේ වාර්තා වූ එකම ශතකය වාර්තා කළේ ද අවිශ්ක ප්‍රනාන්දු යි. ඔහු මෙවර තරගාවලියේදී ශතකයක් සහා අර්ධ ශතක දෙකක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 312ක්.

    Latest News