LPL පළමු ජය 'ගෝල් ග්ලැඩියේටර්ස්'ට

දෙසැ 06, 2021

    කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති පළමු තරඟයෙන් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත් කරමින්.

    කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

    ඒ අනූව, පිටියට පිවිසි ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කරමින්. තරඟ තහනමකට ලක්වීමෙන් අනතුරුව යළි දේශීය තරඟ පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් මෙම තරඟයේ දී ගාලු ඉනිම ආරම්භ කළේය.

    ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 8කට සීමා වුණේ පළමු පන්දුවාරයේ දීම ධනුෂ්ක ගුණතිලකව ලකුණු 8කට දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වීමත් සමගයි. කුසල් මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගියේය.

    කෙසේ වෙතත්, සිය කණ්ඩායම ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට නායක භානුක රාජපක්ෂ අවශ්‍ය පසුබිම සකසා දුන්නේ මෙවර තරඟ වාරයේ පළමු අර්ධ ශතකය ද සිය පිත්තෙන් වාර්තා කරමින්. ඔහු පන්දු 31කින් ලකුණු 56ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ද සමගයි. සමිත් පටෙල් පන්දු 31කින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42ක් රැස් කළා. පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින්ට පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූනේ ලකුණූ 110ක් පමණයි. ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග ලකුණු 17කටත්, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 11කටත් දැවී ගියේය.

    අවසන් ජාත්‍යන්තර 20යි 20 ඉනිම් කිහිපයේ දීම අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු මෙම ඉනිමේ දී ද එක් ලකුණකට දැවී ගියේය. නායක තිසර පෙරේරා ලකුණු 11ක් හා සම්මු අශාන් ලකුණු 15ක් ලබා ගත්තේය. වනිදු හසරංග ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වහබ් රියාස් ලකුණු 27යි.

    පන්දු යැවීමේ දී මොහොමඩ් හෆීස් ලකුණු 11කට කඩුලු 2යි. සමිත් පටෙල් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලූ අතර, පුලින තරංග ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තේය. තරඟයේ විරයා ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමේ සමිත් පටෙල්.

    Latest News