රාජිත සේනාරත්නට ඇප (වීඩියෝ)

දෙසැ 30, 2019
  • වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව නාරාහේන්පිට ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

    ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරිණ.

    එමෙන්ම ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටද ඇප නියෝගය සඳහන් කළාය.

    කොන්දේසි සපුරාලීමෙන් පසුව රෝහල් ගතව ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්න මහතා මුදාහරිණ ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය රෝහලෙන් නික්ම යාමෙන් පසුව රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසද සැකකාර රාජිත සේනාරත්න මහතාට නියම කෙරිණ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 24 වෙනිදා අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සැකකාර රාජිත සේනාරත්න සැඟව සිට ඉකුත් 26 වනදා රාත්‍රී නාරාහේන්පිට ලංකා රෝහලෙන් මතුවූ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පැවසිය. සැඟවී සිටින කාලසීමාව තුළ රහස් පොලිසිය ඔහුගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳගෙන් සහ දරුවන්ගෙන් ඔහු සිටිනා ස්ථානය පිළිබඳ විමසීම කළත් ඔවුන් කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේය.

    පසුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අදාල රෝහල වෙත ගිය බවත් එහි සිටි උමාශංකර් වෛද්‍යවරයා ඔහු අසලට යාමට අවසර දී නොමැති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසිය. මේ අනුව ලංකා රෝහලේ වෛද්‍යවරු හිතාමතාම සැකකරු අත්අඩංගුවේ ගැනීම වැලැක්වීමට කටයුතු කළ බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කල අතර වගකිව යුතු රාජකාරියක් ඉටුකිරීම සඳහා බැඳී සිටින වෛද්‍යවරුන් මේ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.

    ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාට මුදල් ලබා දුන් බව කියන මොහොමඩ් රූමි මොහොමඩ් හසීම් නමැත්තා ද මේ වන විට අතුරුදන්ව සිටින බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔහුගේ නිවසට ගොස් විමසීම් කළ අවස්ථාවේ ඔහු සිටින ස්ථානය නොදන්නා බවට ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශ කර ඇතැයි පැවසිය.

    මේ හේතුවෙන් මොහොමඩ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ලෙසත් ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම තත්ත්වය මත සැකකාර රාජිත සේනාරත්න ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසිය.

    අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වීමෙන් පසුව තම සේවාදායකයා ඉකුත් 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා මෝසමක් ඉදිරිපත් කළ බවත් එසේ අධිකරණය වෙත ඉදිරිපත් වීම සඳහා ඔහු කොළඹින් බැහැර ප්‍රදේශයක සිට පැමිණි අවස්ථාවේ හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔහුව නාරාහේන්පිට ලංකා රෝහලට ඇතුළත් කෙරුණු බව රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණයට පැවසිය.

    තම සේවාදායකයාට එල්ල වී තිබෙන්නේ ඇප දිය හැකි වැරදි බැවින් ඔහු ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුවට සැකකාර රාජිත සේනාරත්න මහතා සම්බන්ධ කර තිබෙන ආකාරය අවිධිමත් මෙන්ම දෝෂ සහගත බවයි. ඒ අනුව ඔහුට එල්ල කර තිබෙන චෝදනා ඇප පනත යටතේ ඇප ලබාදිය හැකි වැරදි හෙයින් එම නියෝගය ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයේ සඳහන් කළාය.

    මෙහිදී මෙම විමර්ශනයට සඳහා ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටින මොහොමඩ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කරන ලද ඉල්ලීමක් ද මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළාය. මොහොමඩ් රූමි නැමැත්තාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් ආගමන හා විගමන පාලකවරයාට නියම කරන ලදී.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 20:32

    Latest News