රජයේ 2020 ණය හා පොලිය ජාතික ආදායමටත් වඩා වැඩියි...ඇමති අමරවීර

දෙසැ 30, 2019

    මෙම රජයට 2020 වසරේ දී ගෙවීමට ඇති ණය පොලිය හා ණය වාරිකය ලබන වසරේ ජාතික ආදායමටත් වඩා ඉහළ වුවත්, මහජනතාවට පිරිනමන  සුභ සාධන සේවා කිසිවක් කපා නොහරින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (29) පස්වරුවේ හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවති මහජන හමුවක් අමතමිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා පාසල් උපකරණ නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් අමාත්‍යවරයා විසින් ආරම්භ කර තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා....

    ශ්‍රී ලංකාව තුළ අතීතයේ පැවති යහපත් සමාජය මෙන් එවැනි යහපත් සමාජයක් නැවතත් ගොඩනැගීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙනයන වැඩපිළිවෙලට රජයේ සියලු දෙනාගේ සහයෝගය ලබාදිය යුතුයි.

    අපේ රට වංචාවෙන් හා දුෂණයෙන්, අල්ලසෙන් තොර රටක් බවට පත් කිරීම ජනාධිපතිතුමාගේ ඉලක්කයයි. අපේ රට අද ඇද වැටී තිබෙන තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ අල්ලස, දුෂණය, හොරකම, වංචාව මෙන්ම අකාර්යක්ෂමතාවයයි.

    එම නිසා මේවා පිටු දකින ශක්තිමත් රටක් ගොඩනැගීමට අවශ්‍ය ශක්තිමත් නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සතුව තිබෙන බව අපට විශ්වාසයක් තිබෙනවා. මම අවුරුදු 26කට අධික කාලයක් පාර්ලිමේන්තුව තුළ සිටිනවා. අමාත්‍ය තනතුරු ගණනාවක් මම දැරුවා. ඒ වුණත් රජයකින් අමාත්‍යවරයෙකුට ලබාගත හැකි කිසිදු වරප්‍රසාදයක් මම ලබා ගන්නේ නැහැ.

    පෙට්‍රල් ෂෙඩ්, වැලි පර්මිට්, බස් පර්මිට්, බාර් ලයිසන් මේ එකක්වත් මම ගත්තෙත් නෑ. ඒවා අරන් දෙන්න කියලා කිසිම කෙනෙක්ගෙන් අල්ලසක් මම අරගෙනත් නැහැ. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් හම්බන්තොට ජනතාවගේ ගෞරවය මම ආරක්ෂා කළා කියලා. අපි සියලු දෙනාම කැපවිය යුත්තේ මේ රටේ දරුවන්ට යහපත් අනාගතයක් ශක්තිමත් රටක් නිර්මාණය කර අනාගත පරපුර සඳහා ලබා දිය යුතුයි.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 11:51

    Latest News