වෛද්‍ය වාර්තා ලැබුණු පසු රාජිතයෙන් ප්‍රකාශයක් ගන්න CIDය සූදානම්

දෙසැ 27, 2019

    ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනා අද 27 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26) රාත්‍රි 8.00ට පමණ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් වී ඇති අතර ඒ  මහතාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු නිලධාරීන් මධ්‍යම රාත්‍රී වනතුරු රෝහල් පරිශ්‍රයේ රැඳී සිට ඇත.

    රෝහල්ගත කිරීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමට අදාල වෛද්‍ය පරීක්ෂණයේ වාර්ථාව ලැබෙන තුරු බලා සිටි බව අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

    අධිකරණයේ වරෙන්තු ලබා සිටින සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොවී රෝහල්ගත වූ අවස්ථාවකදී   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රෝහලට ගොස් සැකකරුගෙන් ප්‍රකාශයක් ගෙන අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලබන අතර ඉන් පසු ඒ බව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම්දීම සිදු කෙරෙන අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගනු ලබයි.

    රාජිත සේනාරත්න මහතාට වරෙන්තුවක් නිකුත් කිරීමෙන් අනතුරුව තමන්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නීතීඥවරුන් මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවත් ඔවුන් එය ඊයේ පස්වරුවේ ඉවත් කරගැනීමට පියවර ගෙන තිබූණි.
    රහස් පොලිසිය සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුට අයත් නිවාස පරීක්ෂා කිරීම සිදු කළ අතර ඊයේ පස්වරුවේ රාජිත සේනාරත්න මහතා නාරාහෙන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් වි තිබුණි.
    මේ අතර රාජිත සේනාරත්න මහතා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයදුම්පත ලබන 30 වනදා අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 07:54

    Latest News