ප්‍රවාහන වෛද්‍ය සහතික අධිවේගී කරන්න ඇමති සැරසෙයි

දෙසැ 26, 2019

    ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් සහතික ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට අධි වේගි සේවාවක් Fast Track System කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

    දැනට උදය කාලයේ නුගේගොඩ පිහිටි ප්‍රවාහණ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉදිරිපිට පවතින වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණෙන පිරිස දිගු පෝලිමක් වශයෙන් දක්නට ලැබේ.

    මෙම තත්ත්වය සෙසු ප්‍රදේශවල පිහිටි කාර්යාලවල ද දක්නට ලැබෙන බැවින් ඊට පිළියමක් ලෙස අධිවේගී සේවාවක් Fast Track system ස්ථාපිත කිරීමට අදාල කාරණා සම්බන්ධයෙන් සොයා බලන ලෙස ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනයේ ඉහළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ප්‍රවාහණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් රියදුරන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර සහතිකපත් නිකුත් කිරීම මගින් 2019 වසරේ රුපියල් මිලියන 200ක ආදායමක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ.

    2019 වසරේ දී එම ආයතනය විසින් ලබා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 712කි. වැය කර ඇති මුදල රුපියල් මිලියන 411ක් වන අතර 2019 වසරේ දී එම ආයතනය විසින් උපයා ඇති ලාභය රුපියල් මිලියන 300කි.

    දිනකට මෙම ආයතනය වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා නුගේගොඩ පිහිටි කාර්යාලයට පැමිණෙන පිරිස 800ක් පමණ වන අතර එම පිරිසට ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස ප්‍රවාහණ සේවා , විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

    අද දින (26) පෙරවරුවේ නුගේගොඩ පිහිටි ප්‍රවාහණ වෛද්‍ය ආයතනය වෙත ගිය අමාත්‍යවරයා එම ආයතනය විසින් මහජනතාවට ලබා දෙන සේවාවන් පිලිබඳව එහි නිලධාරින් සමග සාකච්ඡා කළේය.

    මෙම ආයතනයේ උතුරු හා නැගෙනහිර පිහිටි කාර්යාලවලට ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් හා උපකරණ නොමැතිකම නිසා එම ප්‍රෙද්ශවල ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ ගැටළුව පැන නැගී ඇති බව තමන්ට වාර්තා වී ඇතැයි කී අමාත්‍යවරයා එම ගැටළු විසඳීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස දැන්වීය.

    එමෙන්ම මෙම ආවතන අවට මහජනතාවගෙන් මුදල් ගසා කන මෙන්ම විවිධ අක්‍රමිකතාවල යෙදෙන තැරැව් කරුවන් විශාල පිරිසක් සිටින බැවින් එම තැරැව්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දන්වන ලෙස ද උපදෙස් දුන්නේය. වෛද්‍ය පරීක්ෂණ අසමත් වන ඇතැම් රියදුරන් මෙම තැරැව්කරුවන්ට අල්ලස් දී ව්‍යාජ ලෙස සකස් කරන සහතික ලබා ගන්නා බවත් වාර්තා වී ඇතැයි අමාත්‍යවරයා කීය.

    දැනට මෙම ආයතනය විසින් රියදුරන් සඳහා සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණ අනුව පෙනී ගොස් තිබෙන්නේ වෛද්‍ය පරීක්ෂණ අසමත් වන රියදුරන්ගෙන් සියයට 58ක් ඇස් පෙනීමේ දුර්වලතාවලින් පෙළෙන බවයි.

    වෛද්‍ය සහතික ලබා ගැනීමේදී අධිවේගි සේවාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කතා කළ අමාත්‍යවරයා ඉන්දියාවේ තිරුපති වඳින්න යන අය සඳහාත් VIP පහසුකම් තිබෙනවා සේම Fast Track Service එකක් ඇති බැවින් වෛද්‍ය සහතික ගැනීමට පැමිණෙන ජනතාවට එවැනි සේවාවක් නොමැතිවීම අඩුපාඩුවක් බව ද කීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 15:07

    Latest News