ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති - අධ්‍යක්ෂ ජනරාල් සිය ධුරයේ වැඩඅරඹයි

දෙසැ 26, 2019

    රූපවාහිනී සංස්ථාවත්,ගුවන් විදුලි සංස්ථාවත් ජාතික ජනමාද්‍ය ලෙස වාණිජ තරගකාරීත්වයෙන් මිදී ආදර්ශවත් ජනමාධ්‍යයක් ලෙස පවත්වාගෙන යාම ජනාධිපතිතුමාගේ දර්ශනය බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවසයි. සිය ධුරයේ වැඩබාරගනිමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

    අද උදේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට පැමිණ වෛද්‍ය නිහාල් ජයතිලක මහතා, සංස්ථා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ සේවකයින් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. ප්‍රථමයෙන්ම, ඒ මහතා ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව, පිරිස් සඡ්ඤායනා මධ්‍යයේ සිය ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබීය.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මීට පෙර සෞඛ්‍ය ,ආර්ථික, පළාත් පාලන සහ පළාත් සභා යන අමාත්‍යාංශවල ලේකම් ධුරය හොබවා තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයෙහි අතිරේක ලේකම් ධුරය හා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කර ඇති ඒ මහතා පලාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ධුරය සහ පළාත් පාලන ණය සහ සංවර්ධන අරමුදලේ සභාපති ධුරය ද දැරීය. වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය,නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ක්‍රියා කළයේ. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ද වැඩබාරගැනීමේ අවස්ථාවට එක්ව සිටියේය.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස අජිත් නාරගල මහතා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය. ඔහු කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයන්හි බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ක්‍රියා කරයි. අවස්ථා කළමනාකරණ විෂය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට හඳුන්වා දුන් පුරෝගමියා වන්නේ ද ඔහුයි. නාරගල මහතා රූපවාහිනී ක්ෂේත්‍රයේ ද මනා පළපුරුද්දක් ඇති විධායක නිලධාරියෙකු වෙයි. ජාතික තරුණ සේවා සභාවේ හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරය දැරූ ඔහු, අමාත්‍යාංශ කිහිපයක ද උසස් නිලතල දරනු ලැබීය. ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා මෙට්‍රෙපාලිටන් සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරියෙකු ලෙස ද කටයුතු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 13:17

    Latest News