චක්‍ර ලේඛ, අණ පනත්වලට සීමා නොවි ජනතාවට සහන සලසන්න ජනපතිගෙන් උපදෙස් (වීඩියෝ)

දෙසැ 23, 2019
  • හදිසි ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ දී චක්‍ර ලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

    එවැනි අණ පනත් වේ නම් ඒවා සංශෝධනය කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ. විපතට පත්වූවන් උදෙසා වන සහන වැඩපිළිවෙල සමාලෝචනය කිරිමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය.

    අනතුරුව ජනාධිපතිතුමා අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි අවත්නැන් වූවන් රැඳී සිටින සුබසාධන මධ්‍යස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පළමුව රාජාංගනය යාය 02 ශ්‍රී දුටුගැමුණු විහාරය වෙත ගිය එතුමා එහි සිටින ජනතාව හමුවී සුහද කථා බහක නිරත විය. විපතට පත් ජනතාවට අවශ්‍ය සියලු සහන කඩිනමින් සම්පාදනය කළ යුතු අතර කිසිදු පුරවැසියෙකු අපහසුතාවට පත් නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    slprezgotaflood1 px 900 19

    ආපදා තත්ත්වය පහව යාමත් සමග නැවත පදිංචි කිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස ද අදාළ අංශ දැනුවත් කෙරිණ. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබිය. විහාරාධිපති පූජ්‍ය මහමාන්කඩවල ධම්මසිරි හිමියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    අනතුරුව රාජංගනය යාය 09 ගැමුණු පුර ශ්‍රී බෝධිරාජරාම විහාරයේ සුබසාධන මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එම ජනතාවගේ ද තොරතුරු විමසීය. ඔවුන් වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    විහාරාධිපති පූජ්‍ය ඉහළමුල්ලේ චන්දජෝති හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සමඟද සුහද කතා බහක නිරත විය.

    slprezgotaflood2 px 900 19

    ගංවතුරෙන් විපතට පත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව යළි පදිංචි කිරිමට අවශ්‍ය සියලු කටයුතු සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.‍ විපතට පත් ජනතාව උදෙසා වන සහන වැඩපිළිවෙළ පිළිබඳවසොයා බැලිමේ විශේෂ සාකච්ඡාවට අද (23) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය.

    විපතට පත් පවුල් 451 ක 1588 දෙනෙක් මධ්‍යස්ථාන 10ක මේ වන විටත් රැඳී සිටිති. දිස්ත්‍රික්කයේ නිවාස 08 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යව 250කි. අවස්ථා කිහිපයකදීම ගංවතුරෙන් පීඩාවට පත් ඇලහැර, බකමූණ ජීපීඑස් කොටසෙහි පවුල් සංඛ්‍යකව 21කි. විකල්ප ඉඩම් හඳුනාගෙන නිවාස ඉදිකර ඔවුන් පදිංචිකරවීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට දැනුම් දුන්නේය.

    ඔවුනට යලිත් මෙවන් පීඩාකාරී තත්ත්වකට මුහුණදීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. පසුගිය කන්නවලදී සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. අද සාකච්ඡාවට සම්බන්ධ නොවු නිලධාරින් සහ පාර්ශ්ව කැඳවා ඉදිරි පියවර ගැනීමට තීරණය කරනු ලැබීය.

    අනතුරුව ජනාධිපතිතුමා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදු නෙළුම්ගම ගංවතුරෙන් විපතට පත් ජනතාව පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

    රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි සිරිපාල ගම්ලත්, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරු සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, ප්‍රදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය. නිලධාරිහූ ද ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 23 දෙසැම්බර් 2019 20:15

    Latest News