ස්ථාන මාරුව නීතිවිරෝධී යැයි ෂානි අබේසේකර ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දෙසැ 20, 2019

    තම ස්ථාන මාරුව නීතිවිරෝධී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තමන්ව එම ධුරයෙන් මාරුකර හැරීමට වැඩබලන පොලිස්පතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුකර තමන්ගේ ස්ථාන මාරුව බලරහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ ඒම කොමිසමේ සාමාජිකයින්, ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇත.

    පෙත්සම්කාර ශානි අබේසේකර මහතා කියා සිටින්නේ ඉකුත් නොවැම්බර් 21 වනදා තමන්ව රහස් පොලිසියේ අධ්‍යක්ෂ දුරයේ සිට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුවීමක් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා දුරකථන පණිවුඩයක් මාර්ගයෙන් දැනුම් දුන් බවයි

    මෙය සාමාන්‍ය මාරුවීම් පටිපාටිය උල්ලංඝනය කරමින් සිදුකරනු ලැබු අත්තනෝමතික ස්ථානමාරුවක් ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

    රහස් පොලිස් අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන්ට ආරක්ෂක නිලධාරීන් සහ ආරක්ෂක වාහනයක්ද අනුයුක්ත කර තිබූ බව පෙන්වා දෙන ශානි අබේසේකර මහතා නොවැම්බර් මස 21 වන දා සිදුකෙරුණු ස්ථාන මාරුවත් සමග එම ආරක්ෂක නිලධාරීන් සහ ආරක්ෂක වාහනය ද තමන්ගෙන් ඉවත් කර ඇති බවයි පෙන්වා දෙන්නේ.

    ඉකුත් රජය සමයේ ආරක්ෂක අංශ නිලධාරීන් හා ප්‍රබල දේශපාලකයින් කීප දෙනෙකුට එරෙහිව ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන ගණනාවක් තමා රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරමින් සිටියදී සිදුකළ බව පෙන්වා දෙන ඔහු මෙම ස්ථාන මාරුව කෙරෙහි එම කරුණද ප්‍රධාන බලපෑමක් වී ඇති බවට තමන් විශ්වාස කරන්නේ යැයි ද ඔහු පෙත්සමෙන් සඳහන් කර තිබේ.

    ජනාධිපතිවරණය අවසන් වූ වහාම සිදුකළ මෙම ස්ථාන මාරුව මැතිවරණ නීතියටද පටහැනි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    එබැවින් කිසිදු සාධාරණ නීතිමය පදනමක් නොමැතිව සිදු කර ඇති මෙම ස්ථාන මාරුව තුලින් සිය මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    එමෙන්ම රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයට තමන්ව යළි පත් කරන ලෙස ජාතික පොලිස් කොමිසමට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන්ට කලින් ලබාදී තිබූ ආරක්ෂක වාහනය සහ නිලධාරීන් යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ශානි අබේසේකර මහතා සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    ඊට අමතරව සිය මූලික අයිතීන් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දියක් රජයෙන් අයකර දෙන නියෝගය නිකුත්කර ලෙස ද ඔහු ශ්රේෂ්ඨාධිකරණයෙන් අයද සිටියි.

    Latest News