ජනපති ගෝඨාභය ඝාතනයට තැත් කළ සැකකරුවෙකුට නිදහස

දෙසැ 19, 2019

    කොල්ලුපිටිය පිත්තල හන්දිය අසලදී ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදැයි චෝදනා ලැබ වසර 14 ක් රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයෙක් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (19) නියෝග කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතාමෙලෙස නිදහස් කරන ලෙස නියෝග කරනු ලැබුවේ චන්ද්‍ර බෝස් සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තෙකුට වේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම විත්තිකරු ඇතුළු පස් දෙනෙක් චෝදනා ලැබ සිටි.

    මෙම විත්තිකරුට එරෙහිව අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළ පාපොච්චාරණය හැර කිසිඳු සාක්ෂියක් නොමැති බැවින් ඔහුව නිදොස් කර නිදහස් කරන මෙන් විත්තිකරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ කේ. වී. තවරාසා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර චන්ද්‍ර බෝස් සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තා නිදහස් කිරීමට නියම කළේය.

    2006 වසරේ ජුලි පළමු වැනි දින සහ දෙසැම්බර් අතර කාලයේදී එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදයි විත්තිකරුවන් පහක් චෝදනා ලැබ ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 20:00

    Latest News