'ඇවන්ගාඩ්' නඩු පැවරීමේ දී ගත් ලිඛිත අනුමැතිය ගැන විමසීමක්

දෙසැ 18, 2019

    රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේ දී එම කොමිසමේ කොමසාරිස්වරු විසින් ඊට අදාළ ලිඛිත අනුමැතියක් ලබා දී තිබේද? යන්න පරීක්ෂා කිරීම සඳහා ජනවාරි මස 20 වැනිදා විමසීමක් සිදු කරන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියෙහි කැඳවනු ලැබීය. එහිදී නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම්කර සිටින පාලිත ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර රිමාන්ඩ් භාරයේ පසුවන දෙවන විත්තිකරු වූ නිශ්ශංක යාපා සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

    විත්තියේ නීතිඥවරු මීට පෙර නඩු දිනයේ අධිකරණයේ ඉල්ලීමක් කරමින් කියා සිටියේ මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත අනුමැතියක් ලබා දී තිබේ ද යන්න පිළිබඳව විමසීම් කළ අතර එවැනි ලිඛිත අනුමැතියක් ලබා දී තිබේ නම් එය අධිකරණය හමුවේ ඉදිරිපත් කර ලෙස අල්ලස් කොමිසමට නියෝගයක් කරන් ලෙසයි.

    ඒ අනුව අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය විසින් මෙම නඩුවට අදාළව කොමසාරිස්වරුන් විසින් යෙදූ සටන්වල ලේඛන අධිකරණය හමුවේ ගොනු කළේය. ඒ අනුව මෙම කරුණ පිළිබඳ විභාගය ජනවාරි මස 20 වැනිදා පවත්වන බවයි මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ. එදින රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

    ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ. එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදු කර ඇති බව ද නඩුවේ තවත් චෝදනාවකි.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 15:19

    Latest News